xmas

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල අද(24) මධ්‍යම රාත්‍රියේ උදාවෙයි.

නත්තල පිළිගැනීම සඳහා මේ වනවිටත් ලොව පුරා කිතුණු බැතිමතුන් සමග ලාංකික කතෝලික ජනතාවද එක්ව සිටී.

ශ්‍රී ලාංකිකයින් මෙන්ම සමස්ථ ලෝකවාසීන් මෙවර නත්තල පිළිගැනීමට සැදී පැහැදී සිටින්නේ විවිධ අර්බුද මධ්‍යයේයි. ඒ අතරින් ආර්ථික අර්බුදය ප්‍රධානයි.

එමෙන්ම චීනයෙන් නැග එන නව කොරෝනා රැල්ලද අලුත්ම අවදානමක් නිර්මාණය කරමින් සිටිනවා. කුමන තත්ත්වයන් පැවතියද ලෝකවාසී කිතුණු බැතිමතුන් නත්තල සැමරීමටයි මේ වන විට සූදානමින් පසුවන්නේ.

රටේ අර්බුදකාරී තත්ත්වයක් ඇති මෙම අවස්ථාවේ නත්තල යනු තනිවම බොරු ආටෝපවලින් විනෝදවීමේ අවස්ථාවක් නොවන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

එබැවින් මෙවර නත්තලේ දී දිළිඳුන්ටත් වඩා දිළින්දකු ලෙස බිහිවූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙනෙහි කරමින් දිළිඳුන් සමඟ නත්තල ගතකරන්නැයි සියලුදෙනාගෙන් තමන් ඉල්ලා සිටින බවයි අගරදගුරු හිමියන් පවසන්නේ.

මේ අතර, නත්තල වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අදත් ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීන් සඳහන් කළේ ය.

සීනු නාදයෙන් දසතම මිහිරියාවට ලක්වන මේ මොහොතේ පෙනහලුවලට අලුත් හුස්මක් ගෙන සියල්ලන්ම කල්පනා කළ යුතු වන්නේ මෙම ශාපලත් ඉරණම වෙනස් කිරීම සම්බන්ධයෙනි. එහිදී කිසිවකුට පෞද්ගලිකවම ලබාගක හැකි ජයග්‍රහණ නොමැත. ඇත්තේ සාමූහික ක්‍රියාදාමයකින් පොදුවේ අත්පත් කර ගන්නා ජයග්‍රහණ පමණි.

ඒ වෙනුවෙන් කිතුණු දහමේ බලවත්ව උගන්වන ප්‍රේමය පෙරදැරි කරගත් ජීවන රටාවකට අපි වහාම සීරුමාරු විය යුතු වෙමු. නත්තලේ අසිරිය ඔප් නැංවෙන්නේ සමගිය තුළිනි. සමගිය ගොඩනැගෙන්නේ සහජීවනය හා සමානාත්මතාව තුළිනි. මෙම ගුණාංග ඇවැසි මට්ටමෙන් වඩවා ගැනීමට ඔබ සමත් වන්නේ නම් ඔබගේ හදවත දෙවියන් වැඩ සිටින දෙවොලක් වීම ඒකාන්තය.

Similar Posts