pitakotuwa

කිසිදු අයුරකින් වගා කටයුතු සිදු නොවෙන පෙදෙස්වලට පත් කොට ඇති කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් (කෘපනිස) කෘෂිකාර්මික ප්‍රදේශ සඳහා අනුයුක්ත කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නියෝග කොට ඇත.

ගොයම් පැළයක්, පැපොල් ගහක් හෝ අඩු තරමින් කෙසෙල් ගසක්වත් වගා නොකරන කොළඹ පිටකොටුවටත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරු පත් කර ඇති බව හෙළිව ඇති නිසා එසේ එම ප්‍රදේශවලට දීර්ඝ කාලයක් තිස්සේ එම පත් කිරීම් සිදුකොට ඇත්තේ ඇයි ද යන්න ඇමතිවරයා විමසා තිබේ.

අනවශ්‍ය ස්ථානවලට නිලධාරීන් පත් නොකර දැනට එවන් පත් වීම් ලබාදී ඇති පිරිස් වහාම අත්‍යවශ්‍ය ස්ථාන වෙත අනුයුක්ත කරන ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට නියෝග කොට ඇත.

එමෙන් ම රජයේ පශු වෛද්‍යවරුන් ද විශාල සංඛ්‍යාවක් කොළඹ අවට සිටින බව ඇමතිවරයා පැවසීය.

ඉදිරියේදී කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ (කෘපනිස) ගෙවතු පරීක්ෂා කිරීම සඳහා තමන් පෞද්ගලිකව ම සහභාගි වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ සියලු ආයතනවල සේවය කරන සියලුදෙනා තම ගෙවතු අන් අයට ආදර්ශයක් ලබා දෙන අයුරින් වගා කළ යුතු නිසා මේ තීරණයට එළැඹි බව ද ඇමැතිවරයා සඳහන් කොට ඇත.

Similar Posts