මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලැබු ජනාධිපති පරිසර සම්මාන උළෙලේදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ “නීල හරිත සංග්‍රාමය” සම්මානයට පාත්‍ර වන ලදී.

ඊයේ (29) කොළඹ, නෙළුම් පොකුණ රඟහලේදීමෙම සම්මාන උළෙල  පැවැති අතර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීය.

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු “නීල හරිත සංග්‍රාමය” ලෙස නම් කරන ලද පරිසර සංරක්‍ෂණ නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිම සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය ‘නීල හරිත පාරාදීසයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව, නාවික තඨාකාංගණය තුල කඩොලාන නැවත වගාව හා කැස්බෑ සංරක්‍ෂනය, පැල සිටුවිම, වෙරළ ප්‍රදේශ පිරිසිදු කිරීම කොරල් නැවත වගාව හා සංරක්‍ෂණය, ජල සංරක්‍ෂණ ව්‍යාපෘති, ජිව වායූ ව්‍යාපෘති, අප ජල කළමණාකරණය, ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රතිචක්‍රීකරණය, වන සතුන් සංරක්‍ෂණය, අපද්‍රව්‍ය කළමණාකරණය සහ කඩදාසි භාවිතයෙන් තොර කාර්යාල පරිශ්‍ර ඇති කිරීම යන ව්‍යාපෘති සිදු කරනු ලබයි.

නීල හරිත සංග්‍රාමය යටතේ පරිසරය සුරැකිම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් සහ ව්‍යාපෘති අගය කරනු වස් ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී නාවික තඨාකාංගණය තුල පිහිටි ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපිඨය පරිසර හිතකාමි රාජ්‍ය ආයතන කණ්ඩය යටතේ සම්මානයට පාත්‍ර වූ අතර, එහිදී නාවික හමුදාව වෙනුවෙන් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ විසින් එම කුසලතා සම්මානය ලබා ගන්නා ලදී.

Similar Posts