වාකනේරිය වැව් ඉස්මත්තේ සරුවත් ආදරය…

සිංදු කියන මාළු ඉන්න මඩ කළපුවේ ඉඳලා අපි ඔට්ටමාවඩි පැත්තට ආවා. නැගෙනහිර මුසල්මානු නගර මාලයේ එක් මුතු පබළුවක් තමයි ඔට්ටමාවඩි. ඔට්ටමාවඩි පාලම පැනලා අපි පොළොන්නරුව පැත්තට එනකොට මුලින්ම මුලිච්චි වෙන්නේ වාකරේ හන්දිය. ඊළඟට අපි ටික දුරක් පොළොන්නරුව පැත්තටම ගිහින් වමට හැරෙනවා.
ඩකොස් ඩොකොස් පාරක් තමයි තියෙන්නේ. කහවන් දුඹුරු පාටට හැරුණ වෙල් එළිය පාර මැදින් තියාගෙන අපි දිහා බලාගෙන ඉන්නවා. තරීවීලරය ඉද්ද ගැසුව ඩකොස් ඩොකොස් පාරේ ඉදිරියට.
දැන් ටික ටික කර්කශ මඩකළපු දේශගුණය සෞම්ය වෙනවා. සිහිල් සුළං රැුල්ල, ඈත පේන නිල්ල ඇතිරූ ජල කඳ ගැන ආරංචිය කලින්ම කියනවා. තැනින් තැනින් වැව බලන් ඉන්න බැරුව වගේ පාරට පනිනවා. තැනක දේ තැනක තල් ගස් අහස සොයනවා. අපි තල් ගස් අතරින් වාකනේරිය සොයනවා.
වාකනේරිය ගම තවමත් නැගිටින්න අර අඳිනවා. බිලී කටුවත් වැවට දාගෙන මාළුවෙක් එනකම් මඟ බලන පොඩි එකෙක් අපි දිහාට ඔරවනවා. තැනෙක දෙතැනක ටකරන් මඩු. තවත් තැනෙක එකට ගැට ගහපු ගොන් වස්සෝ දෙන්නෙක් සමඟියෙන් බඩ පුරෝ ගන්නවා. වාකනේරිය කියන්නේ මඩකළපුවටම තියෙන විශාල වැව වෙන්න ඕනෑ.
මට එහෙම හිතෙනවා මේ නිල් කැටය දැක්කාම. වාකනේරිය කියන්නේ යුද්ධයට කළින් සශරික ගමක්. ධීවරයෝ ගොවියෝ හිටිය මඟ සලකුණු තියෙනවා. දැන් නම් ගම පටන් අරගෙන විතරයි වගේ. අපි ගම පාස්කරලා වැව් ඉස්මත්තට ගියා. අලි සරන කැලය මායිම ඇනිකට් එකේ මුසල්මානු තරුණ තරුණියෝ දිය කෙළිනවා.
එක පන්සීයක් විතර ඇනිකට් එකෙන් පහළට ගලන වතුර කඳ දෙපැත්තතට වෙන්න වාඩිවෙලා සතුටු වෙනවා. කෙනෙක් දෙන්නෙක් වැවේ මාළු අල්ලනවා. කැලේ ඇතුළට වෙන්න හෙවණක අටවලා තියෙන සරුවත් කඩය දැක්කාම සරුවත් එකක් බොන්න හිතෙනවා.
මේ සරුවත් කතාව පටන් ගන්නේ මෙතැනින්. අපි සරුවත් එකක් බොමු. මම කියන ඇසිල්ලෙන් අයිස් කැට නටන රතුපාට වතුර අර කෝප්පයෙන් මේ කෝප්පයට පනිනවා. හරියට ඉස්සර කිරි යාරයක් දානවා වගේ. කස කසා ඇට අයිස් කැට උඩ නළියනකොට මම රතුපාට සරුවත් සේරම ගුඩු ගුඩු ගාලා උගුරට හලා ගන්නවා.
මේ කියන්න යන කතාවත් සරුවත් වගේම සුමිහිරියි. රතුපාට, කොළපාට, කහපාට වීදුරු ඔළුව උඩ දෙහිගෙඩි අටවගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා. ඊට ටිකක් එහායින් අයිෂා නැන්දා මයියොක්කා සුද්ද බුද්ද කරනවා. ඊටත් එහායින් තියෙන්නේ අලියා හොඬවැල එළියට විසිකරන කැලේ. ආදලෙබ්බේ මාමා නටන ගිනි දැල්ලේ පස්ස පැත්ත තියාගෙන ඉන්න තාච්චියේ පැහෙන පැණි ඩිංගිත්ත එහාට මෙහාට හැඳි ගානවා. කැටි වුණොත් සරුවත් සුම්මා.
සරුවත් වගේ ජීවිතය
‘මගේ ජීවිතයට දැන් අවුරුදු පනහක් වෙනවා. මේ සරුවත් කෙරුවාවට අවුරුදු පහයි. ඊට කලින් මම කාන්තන්කුඩි, ඔට්ටමාවඩි වගේ ටවුන්වල අල පෙති, එක එක ටේස් ජාති විකුණුවා. ළමයි හතරක් හැදුවා. තුන් දෙනෙක් දැන් බැඳලා පවුලෙන් අයින් වෙලා ඉන්නේ. තව එක්කෙනෙක් ඉගෙන ගන්නවා. මගේ නෝනායි, මමයි තමයි මේ රස්සාව කරන්නේ. මේ රස්සාව නිසා තමයි අල්ලාගේ පිහිටෙන් අපි ජීවත් වෙන්නේ.’
නෝනායි මහත්තයායි එකට එකතු වෙලා මිනිස්සුන්ගේ දිවට රස දීලා ජීවිතයේ මිහිරියාව අත්විඳිනවා. මේ ජීවිත දෙක අස්සේ තව ටිකක් සැරිසරන්න හිතුණා.
‘මම මේ ගෑනි ගෙදර අරන් එනකොට ඒකිට පහළොවයි. මට දහඅටයි. එදා ඉඳලා මගේ ජීවිතයට මගේ දරුවන්ට මේ ගෑනි මාර පිහිටක් වෙන්නේ. අපි දෙන්නාම ඉපදිලා තියෙන්නේ පෝසත් මිනිස්සු විදිහට නෙවෙයි. ඉතින් මහන්සි වුණොත් තමයි බඩ පිරෙන්නේ. අපි ඉතින් මහන්සි වුණා..’
කතාවට බ්රේක් නැහැ. දෙන්නා හරි ආදරෙන් ඉන්නේ නේද? මම බ්රේක් නැති කතා ලතාවට පොඩි අඩයක් තියෙනවා. හක හක ගාලා හිනාවෙලා ආදලෙබ්බේ මාමා උත්තර දෙනවා. අයිෂා නැන්දා නම් මයියොක්කා රහින ගමන් තාලයට හිනාව දිගටම ඇදගෙන යනවා.
‘ආදරේ.. අනේ මම දන්නේ නැහැ. එකට හිටියා. ළමයි හැදුවා… එකට රස්සාව කළා. එකට මැරෙන්න ලැබෙයිද නම් දන්නේ නැහැ.’
දැන් කොහොමද මෙතැනට ආවාට පස්සේ ජීවිතේ.
‘අපොයි දෙයියනේ මෙතැනට ඇවිල්ලා තවම වැඩි කාලයක් නැහැ. මෙතැන කැලේ ඇතුළේ පොත්තාන කියලා ගමක් තියෙනවා. යුද්ධය එන්න කලින් අපි එහේ තමයි හිටියේ. යුද්ධයත් එක්ක අපි වාලච්චේන කඩදාසි ෆැක්ටරිය ළඟට ගියා. ඒ හරියට කියන්නේ කහවත්තමුණෙයි කියලා. දැන් අපි දෙන්නා එතැන හදාගත්ත ගෙවල් දරුවන්ට දීලා ආයෙත් මේ කැලේට ඇවිල්ලා වාඩියක් අටවත්තා. එතැන ඉඳලා තමයි මේ ඇනිකට් එක ළඟට එන්නේ සරුවත් වෙළඳාමට. නිවාඩු දවසට මෙතැනට ගොඩක් අය එනවා. සමහර දවසට පන්සීයක් විතර. ඒ වාගේ දවසට මට හොඳයි. සීනි කිලෝ 5ක් ණයට අරගෙන තමයි මම මෙතැන බිස්නස් එක පටන් ගත්තේ. දවසට සරුවත් 20ක් – 30ක් තමයි විකුණන්නේ.’
සරුවත්
සරුවත් කියලා කියන්නේ වයස් භේදයක් නැතුව අපි කවුරු අතරත් ජනපරිය බීම වර්ගයක්. පොඩි මේසයක රතු, කොළ, කහ වීදුරු බෝතල් එක පේළියට තියලා ඒක පාට පාට කූඩයකින් හෙවණ කරලා ටින් ටින් ගාලා සරුවත් මාමා වීදුරුවලට ගහනකොට කසකසා ඇට නළියන සරුවත් බොන්න අපි හරි ආසයි. ලංකාවේ හැම තැනකදිම වගේ සරුවත් බීලා තියෙන මට වාකනේරියේ ආදලෙබ්බේ මාමාගේ සරුවත් එක රසම රස වුණා.
‘මුලින්ම වතුර ළිපේ තියනවා. ඊළඟට ඒක නටාගෙන එනකොට සීනි දාලා හොඳට උකු වෙනකම් හැඳි ගානවා. ඊළඟට පැණිවල පරමාණයට බිත්තරයක් නැත්නම් දෙකක් කඩලා දානවා. ඊළඟට කලරින් දානවා.
ඊළඟට නිවෙන්න තියලා බෝතල්වලට දාගන්නවා. කවුරු හරි සරුවත් ගන්න ආවාම මේකෙන් හැන්දක් දෙකක් වීදුරුවට දාලා අන්නාසි ටිකක් හීනියට කපලා දාලා ඒකට දොඩම් ගෙඩියක් දෙකක් මිරිකලා කසකසා ඇට ටිකක් දාලා අයිස් කැට දාලා හොඳට කලවම් කරලා දෙනවා. ඒකට තමයි සරුවත් කියන්නේ. මේක කොහෙන් ආවාද කියලා නම් අහන්න එපා. ඒවා මම දන්නේ නැහැ. සමහරුන්ට කිරි රස ඕනෑ කිව්වාම අපි මේකට ටින් කිරි හැන්දක් දෙකක් දානවා. එතකොට තවත් රසයි.
මේ සරුවත් එකේ ඉතිහාස කතාව හොයාගන්න හරි අමාරුයි. මට හිතෙන්නේ මේ සරුවත් වීදුරුවේ ඉතිහාසය ෆලූඩා බීම වීදුරුව ළඟ නතර වෙනවා කියලා. රෝස වතුරට කිරි මිශර කරලා කස කසා දාලා හදාගන්න ෆලූඩා බීම ඉන්දියාවට ආවේ පර්සියාවෙන්. මූගල් රාජවංශය ඉන්දියාවේ රජකම් කළ කාලයේ. ඒක ඉන්දියාවේ විතරක් නෙවෙයි අග්නිදිග ආසියාවටත් ගියා.
ලංකාවටත් ආවා. මේ ෆලූඩා වීදුරුවම ටිකක් වෙනස් විදිහකට හදාගැනීමක් තමයි සරුවත් කියන්නේ. සරුවත් ගැන ඉතිහාසය සොයලා හම්බ වුණේ නැති කොට මට ආ අදහසක් මේක. මේක වෙනස් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් සරුවත්වලට ඒ වගේම රස ඉතිහාසයකුත් තියෙන්න ඕනෑ. මේ සරුවත් වගේම ආදලෙබ්බේ මාමගේ ආදරයත් රසයි වගේ කියලා තමයි මට නම් හිතෙන්නේ. නැන්දා තවම මඤ්ඤොක්කා සුද්ද බුද්ද කරනවා. ඇයගේ හඬට ඉඩ දුන්නේ නැති වුණොත් මේ සරුවත් මිහිරි නැති වෙයි.
අයිෂාගේ කතාව
‘මම ඉතින් එදා ඉඳලා මේ මනුස්සයට උදව් වුණා. ගෙදර ඉඳලා ආප්ප තැම්බුවා විකුණන්න. ළමයි ඉස්කෝලේ යැව්වේ ඉගැන්නුවේ එහෙම මහන්සි වෙලා. පරශ්න කෝටියක් තිබුණා. යුද්ධ නිසා අපි හරි බයෙන් ජීවත් වුණේ. අපිට හැම පැත්තෙන්ම ඒ කාලේ පරශ්න තිබුණා. ඒත් අපි දෙන්නා අල බැදලා විකුණලා හරි ජීවිතය ගැටගහගත්තා.’
අයිෂා නැන්දා කියනවා වගේ යුද්ධය කියලා කියන්නේ බෝම්බ පිපිරෙනවා කියන එකට විතරක් නෙවෙයි. දකුණේ අපිට තියෙන හැඟීම බෝම්බ… බෝම්බ… මේ වාකනේරිය කියලා කියන්නේ 2007 අවුරුද්දේ තොප්පිගල, වාකරේ කියන විශාල එල්ටීටීඊ යුද කඳවුරු බිඳ වැටෙනකම් ශක්තිමත් විදියට තිබුණ එල්ටීටීඊ පාලන පරදේශයක්. කොටින්ම කියනවා නම් කරුණා අම්මාන්ගේ කලාපය.
මේ වැව සුන්බුන් වෙන්න දෙන්නේ නැතුව යුද්ධ කාලෙත් කරුණා අම්මාන් මේක හොඳට නඩත්තු කළා කියලා මේ මිනිස්සු කියනවා. ඒ විතරක් නෙවෙයි මේ වැවේ වැව් බැම්ම උඩින් තියෙන පාරට සම්බන්ධ කරලා කරුණා අම්මාන් ඒ කාලේ තවත් පාරක් කපලා තියෙනවා. ඒ මඩකළපුවේ ඉඳලා කොළඹට මුස්ලිම් පරදේශ මඟහැරලා යන්න පුළුවන් වෙන්න. අද වාකනේරියේ තොප්පිගල සීමාව කැලේ වහගෙන ඉන්නේ.
අලි ඕසේට ඉන්නවා. මේ සරුවත් කඬේ ළඟටත් සමහර වෙලාවට එයාලා එනවා. ඇවිත් යනවා. අලි ඉන්න කැලේ ආදලෙබ්බේ මාමායි එයාගේ බිරිඳ අයිෂා නැන්දායි වැවේ ඇනිකට් එකට නාන්න එන සංචාරකයන්ට සරුවත් විකුණලා ජීවත් වෙනවා. කොටිත් එක්ක කොටි කටේ හිටිය අයට අලි මොන කජ්ජක්ද කියලාත් හිතෙනවා.
වැව දිය සර සරැුලි නගනවා. තැනක දෙතැනක තිත් තිත් ඔරු පාරු මාළු රංචුවලට දැල් එලනවා. අපි යනවා. අයිෂා නැන්දා සිනාසෙනවා වැව වගේ. මාමා පත්තරේ ගැන තොරතුරු ටිකක් කොළ කෑල්ලක ලියාගන්න මහන්සි වෙනවා. පැණි හොද්ද ඕසෙට නටනවා. අල පෙති කහ කුඩු තවරගන්න කොට රතුපාට වේල් පොට උස්සලා අයිෂා නැන්දා අල පෙතිත් එක්ක ඔට්ටු වෙනකොට අපි වැව දිහාට යනවා.
අතුරු කතාවක්
මේ කතාව සරුවත් කතාවත් එක්ක කලවම් කරනකොට වාත්තු කරනකොට නිකන් තක්කාලියි බෝල්ට් ඇණයි වගේ වෙයිද දන්නේ නැහැ. හැබැයි වාකනේරිය වැව ළඟ ඉන්න ආදලෙබ්බෙලා ගැන කතා කරලා වැව අමතක කරන්න පුළුවන්ද? එහෙම කළොත් වැව තරහ වෙන්නත් පුළුවන්.
මේ වැව ගොඩක් පැරණි වැවක්. 1955 අවුරුද්දේ වාලච්චේනයි කඩදාසි ෆැක්ටරිය හදනකොට එයාලා හිතනවා ඔට්ටමාවඩි වැවෙන් (කිලෝමීටර් 3ක් දුරින් තියෙන* ෆැක්ටරියේ වැඩවලට වතුර ගන්න පුළුවන් කියලා. හැබැයි ඒ වැවේ වතුර ලූණු රසයි. අන්තිමට ෆැක්ටරියේ වැඩවලට මේ වැවෙන් වතුර ගන්න යෝජනාවක් එනවා. ජර්මන්කාරයෝ තමයි හැතැප්ම 7ක් දුරට නළ එළලා මේ වතුර පොම්පාගාරය හදන්නේ. මේකේ තියෙන බඩු මෝටර් සේරම ජර්මන් නිෂ්පාදන. බලන්න මේ වළ විතරක් අඩි 20ක් ගැඹුරුයි.
මම දැන් ඉන්නේ වාකනේරිය වැවේ ජල පොම්පාගාරය අස්සේ.
මේක එල්ටීටීඊ කාලේ බංකරයක් කියලත් කියනවා. වෙඩි වැදුණු සලකුණු තැනින් තැන. මකලා දාන්න බැහැ. අවුරුදු 20ක් කඩදාසි කම්හලේ වැඩකරපු බී. නඩරාජා මාමා අපිත් එක්ක කතා කළා. කඩදාසි ෆැක්ටරිය දැන් තියෙන්නේ වැහුණ තත්ත්වයක. දැන් මෙතැනින් පාසිකුඩා හෝටල්වලට තමයි වතුර දෙන්නේ.
‘1970 වෙනකොට මේ ෆැක්ටරියේ සේවකයෝ විතරක් 4,000ක් හිටියා. ලොකු මෝටර් හයකින් තමයි වතුර පොම්ප කළේ. දැන් ඒ මෝටර්වලින් එක මෝටරයයි වැඩ කරන්නේ. මේ වතුර පොම්පාගාරය විවෘත කරලා තියෙන්නේ 1966 සැප්තැම්බර් 26 පිලිප් ගුණවර්ධන කියන ඇමතිතුමා.’
දැන් ඒක ලස්සන අතීතයක් විතරයි. පිදුරුවලින් ඒ කාලේ ජයටම කඩදාසි හැදුවා. වාකනේරිය වැව ඒවට වතුර අඩුවක් නැතුවට දුන්නා. එල්ටීටීඊ කාලේ නම් ෆැක්ටරිය මේ වතුර ගන්න කප්පම් දුන්නා කියලා කියනවා.
මේ කතා සේරමත් එකතු කරගෙන අපි ආයෙත් එන්න හැරුණා. ඈත කොනක ධීවරයෙක් මාළුවන්ට දැලක් එළනවා. ඊට ඉහළින් කුරුලූ රංචුවක් පාර කියනවා. තල් අරඹක් මැදින් ක්ෂිතිජයට එළපු බොරලූ පාරේ අපි නැවතත් ගමනේ. තැනින් තැන වාකනේරිය වැව පාරට පැනලා අපිට යන්න එපා කියලා කියනවාද කියලාත් හිතෙනවා.

Related posts