ඔන්ලයින් අධ්‍යාපනයේ සිග්නල් සොයා යාම

කොරෝනා වසංගතයෙන් වැසීගිය මෙරට අධ්‍යාපනයට නොයෙකුත් විසදුම් ඉදිරිපත්වුවත් රටේ අති බහුතරයක් දරුවන්ට සිදුව ඇත්තේ විශාල අසාධාරණයක් යැයි, බොහෝ දෙනාගේ පිළිගැනිමය.වැසී ගිය පාසල් , විශ්ව විද්‍යාල , පෞද්ගලික අධ්‍යාපන ආයතන යළි විවෘත්ත කර යථා තත්වයට පත්කරන තෙක් විද්‍යුත් මාධ්‍ය භාවිතයෙන් අධ්‍යාපනය ලබාදිම මේවන විට ප්‍රබලව කතාබහට ලක්වෙමින් තිබේ.

යල් පැනගිය සාම්ප්‍රදායික ක්‍රම වෙනුවට දියුණු ලෝකය සමග යායුතු නිසා අධ්‍යාපනයද යාවත්කාලීන කළයුතුමය. විද්‍යුත් මාධ්‍ය මගින් අධ්‍යාපනය ලබාදීමේදි රූපවාහිණිය, ගුවන් විදුලිය, අභිබවා යමින් අන්තර්ජාලය භාවිතා කරමින් “ ඔන් ලයින් “ ( online) ක්‍රමයට ඉගැන්විම මේ වනවිට පෙර පාසල් දරුවාගේ පටන් විශ්ව විද්‍යාල සිසු සිසුවියන් දක්වාම පැතිර ගොස් තිබේ.

කොරෝනා හෝ වෙනත් වසංගතයක් හේතුවෙන්දරුවන්ගේ අධ්‍යාපනය අඩාලවීමට ඉඩ දිය නොහැකිය. එසේම අධ්‍යාපනය ලබනවාද? ජීවත්වනවාද? යන්නද ප්‍රශ්නයකි. නමුත් ලෝකය විශ්ව ගම්මානයක් නිසාම තාක්ෂණික මෙවලම් භාවිතයෙන් අධ්‍යාපන කටයුතු සිදුකරීමද අරුම පුදුම අමාරු කටයුත්තක්ද නොවේ.

කොරෝනා කබලට වැටුණු පාසල් දරුවන් අති බහුතරයක් ළිපට වැටෙන්නේ අපේ රටේ “ ඔන් ලයින් ( on line )අධ්‍යාපනයත් සමගය. දශක ගණනාවක් මේ රටේ තරුණ ජිවිතවල සටන් පාඨය බවට පත්ව තිබුනේ කොළඔට කිරි ගමට කැකිරි කියාය. කොරෝනාවෙන් ඇරඹි“ඔන් ලයින්“ (on line) අධ්‍යාපනයෙන් යළිත් ගමට කැකිරි ලැබෙන්නට පටන්ගෙන තිබේ.

බැලු බැල්මට ‘ඔන් ලයින් “ ( on line ) අධ්‍යාපනය ඉතා පහසුය. ආරක්ෂාකාරීය.අනෙත් අතට අපේ රටේ ජනගහනය මෙන් දෙතුන් ගුණයක් ජංගම දුරකථන භාවිතයේ තිබේ.පරිගණක, ලැප්ටොප් යන්ත්‍ර හා අනෙකුත් උපාංග වෙළදපලද සුළු පටු නොවේ.

නොම්ලයේ “වයි පයි “ ලබාදිම පසුගිය කාලයේ දේශපාලන පොර පිටියේ ප්‍රධාන මාතෘකාවකි. පාසල් සිසුන්ට නොමිලයේ “ ටැබ් “ ලබාදීම සැබෑ ජනතා ප්‍රශ්න යට ගැසූ තවත් මාතෘකාවකි.ඊටත් අමතර ගූගල් බැලුන් වලටද පසුගිය කාලයේ මේ රටේ ජනතාවගේ බදු මුදල් රුපියල් ලක්ෂ ගණනක් වැයවු බවට මැති ඇමතිවරුන්ම චෝදනා කරගනු ලැබීය.

මේ ආකාරයට ලෝකයට පෙනෙන්නට කටමැත දෙඩවූවද දුරකථන ඇමතුමක් ගන්නට ගස්, ගල් උඩ නගින්නට සිදුව ඇති ගම් බිම් බොහෝය. මේ අතරේ බොහෝ ජනප්‍රිය පෞද්ගලික ගුරුභවතුන්, ජනප්‍රිය පුද්ගලික අධ්‍යාපන ආයතන මෙන්ම ජනප්‍රිය පාසල් බොහෝමයක් මේවනවිට “ඔන්ලයින් “ අධ්‍යාපනය දරුවන්ගේ ජිවිත සමග කරණම් ගසන තත්වයකට පත්ව තිබේ.

කොරෝනාවෙන් බැටකන ගම්බද දුප්පත් දරුවන් සහ දෙමාපියන් පීඩාවට පත්ව සිටින්නේ අන්තර් ජාලයෙන් , ඔන්ලයින් ක්‍රමයෙන් ලබාදෙන දැනුම තමන්ට ළගාකර ගැනීමට නොහැකිවීම නිසාය. සුපිරි පහසුකම් ඇති බස්නාහිර පලාතේ කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජනතාව තවමත් සාමාන්‍ය දුරකථන ඇමතුමක් ලබා ගන්නට පවා පහසුකම් නැත.

රැහැන් සහිත දුරකථනය සිහිනයක් වුවදසෑම පුද්ගලයෙකු සතුවම තිබෙන ජංගම දුරකථන, රැහැන් රහිත ස්ථාවර දුරකථන, ඇන්ටනා සහිත දුරකථන ආදි විවිධ මාදිලියේ දුරකථන තිබුණත් ඔවුන්ට ඇමතුම් ලබාගන්නට ගස්, ගල් උඩට නගින්නට සිදුව තිබේ.

ඇතැම් ප්‍රදේශවලට දුරකථන සංඥා ලැබීමද ඉදහිට සිදුවන්නකි.ජංගම දුරකථන සංඥා පමණක් නොව සුපිරි පහසුකම් තිබෙන බස්නාහිර පලාතේ කළුතර දිස්ත්‍රික්කයේම බොහෝ ප්‍රදේශවල විශාල මුදල් දී චන්ද්‍රිකා තාක්ෂණයෙන් යුතු ඇන්ටනාවක් භාවිතා නොකළහොත් රූපවාහිණිය නැරඹිමද කල නොහැකිය.

බස්නාහිර පලාතේ කළුතර දිස්ත්‍රික්කය සිතියමෙන් කොළඹට ඉතා ළගය. නමුත් තාක්ෂණික පහසුකම් අතින් ඈතය. පාලින්ද නුවර, වළල්ලාවිට, බුලත්සිංහල, අගලවත්ත, මිල්ලනිය,ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක දුෂ්කර ගම්මාන ගණනාවක ජනතාවට අන්තර්ජාල හා දුරකථන පහසුකම් කොළඹට කිරි ගමට කැකිරි ක්‍රමයටය.

වළල්ලාවිට, ගුලවිට, කටුදොර, තොටහ , බෝපිටිය, පහළ හෙවෙස්ස, රනේපුරගොඩ, නේරි හේන, යට්ටපාත, තිනියාවල, හැඩිගල්ල ,බොල්ලුන්න, බටගොඩවිල, ගල් තුන්දොළ, දික්හේන, බුලත්සිංහල අමරගෙදර, දෙණිකඩේ. දිවලකඩ, කොබවක, දෙල්මෑල්ල, අටහවුල්හේන, ඇතුළු කළුතර දිස්ත්‍රික්කයේ ගම්මාන ගණනාවක ජනතාව දුකථන ඇමතුමක් ගන්නට ගලක්උඩට, ගසකට, වෙල් යායකට, බොක්කුවක් උඩට , නැතිනම් කදු මුදුනකට යා යුතුය. මීට අමතරව තවත් ප්‍රදේශ ගණනාවක ජනතාවට දුකථන සංඥා ආව – ගියා ක්‍රමයටය.

පාලින්ද නුවර හැඩිගල්ල බදුරුගල්ල ප්‍රදේශයේ ගුරුවරයකවන ඉන්දිකා මල්කාන්ති මහත්මිය.
——————————————————————————-
බදුරලිය බදුරුගල්ල ප්‍රදේශයට මොනම සිග්නල් එකක්වත්නෑ. මේ පැත්තට සාමාන්‍ය දුරකථන ඇමතුමත් කැඩි කැඩි තමයි ඇහෙන්නෙ.කලින් ඇමතුමක් එන වෙලාවට දුරකථනය අරගන ගෙට උඩහ තියෙන ගල උඩට දුවන්න ඕනා. මේ පැත්තට ත්‍රීජී ( 3 – G ) පෝජි ( 4G ) තියා අඩුම තරමෙ දුරකථන ඇමතුමක් වත් ගන්න බැහැ .

මතුගම. කළුතර ටෙලිකොම් කාර්යාලවලට මේ ගැන ලිව්වා. කිව්වා. වැඩක්වුනේ නැහැ.මගේ ගෙදරත් ස්මාට් දුරකථනයක් සාමාන්‍ය ජංගම දුරකථනයක් තියෙනව .

කෙහේ හරි යනකොට අරගන ගිහිල්ල ඇමතුම් ගන්නවා.පරිගනක, ලැප්ටොප් තියෙනව. ගෙදර පැත්තකට දාල ලස්සනට වගේ තියල තියෙනවා. මේ දවස්වල මේ ප්‍රදේශයේ දරුවන්ට ඔය ඔන්ලයින් උගන්වන කතානම් නිකම් සුරංගනා කතා විතරයි.

මම නම් ඒ දරුවන්ට උපදෙස් දුන්නෙ පෙළ පොත හොදට කියවන්න. බලන්න පුළුවන් නාලිකාවක උගන්වන දෙයක් බලන්න කියලයි.

හැඩිගල්ල බොල්ලුන්න ප්‍රදේශයේ පදිංචි විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත ශිෂ්‍යෙයකු වන සම්පත් සදීෂ කුමාර.
——————————————————————————-

මේ දිනවල කරන ඔන් ලයින් ලියා පදිංචියකරන්නත් බදුරලිය නගරයට යනවා.

මට ස්මාට් දුරකථනයක් සහ ලැප්ටොප් එක් තියෙනවා. අන්තර් ජාල වැඩක් කර ගන්න ඕන වුනාම ලැප්ටොප් සහ දුරකථන අරගන ගමේ ටිකක් දුර සිග්නල් නියෙන උස තැනක් තියෙනව .එතනට යනවා.

මේ දවස්වල කරන “ ඔන්ලයින් “ ඉගැන්විම මේ පැත්තෙ අපට නම් විහිළුවක් විතරයි. අනෙක පැයක් දෙකක් අන්තර්ජාල සබදතාවලට යන්න “සුම් “ හරහා ගියත් විශාල මුදලක් යනවා.

පහළ හෙවෙස්සේ සුමනාවතී මහත්මිය.
——————————————-
අපේ ජංගම දුකරථනය තියල තියෙන්නෙ ගෙදර ජනේලය උඩයි. ඇමතුමක් ආවම ඒක අරගන උඩට නගින්න ඕනා. ඒත් විසන්ධිවෙනවා.

මේ ප්‍රදේශයට මොනම සමාගමක වත් සිග්නල් නැහැ. මගේ දුව උසස්පෙළ ඉගන ගන්නවා. නමුත් “ඔන්ලයින් “ යන්න ක්‍රමයක් නෑ. මේ දවස්වල එයා මහපාරෙ සිග්නල් තියෙන බොක්කු උඩට යනව. ගෑණු දරුවෙක් නිසා මමත් එතනට වෙලා ඉන්නවා.මේ නිසා රටේ අධ්‍යාපනය නැති බැරි අයට අසාධාරණයක් වෙනවා. අනෙක මෙවැනි පහසුකම් දෙන්න හැමදාම කතා වෙනව. නමුත් ගමේ තාක්ෂණික දියුණුව හණමිටි යුගයට ගිහිල්ලා.

බුලත්සිංහල අමරගෙදර සුසිලා ප්‍රියන්ති මහත්මිය.
——————————————————–

“ඔන්ලයින්“ නෙමෙයි මහත්තයෝ රූපවාහිණිය බලන්නත් රුපියල් හත් අට දාහක් දීල “සැටලයිට්“ චන්ද්‍රකා ඇන්ටනා ගන්න ඕනා. නැත්නම් ඉතිං ඇන්ටනා බටේ කරකෝ, කරකෝ එකම නාලිකව තමයි බලන්නෙ. “ ඔන් ලයින් “ අධයාපනය නරක නෑ හොදයි. නමුත් ඒවට පහසුකම් ඇතිකල යුතුයි.

එහෙම උගන්වන ගුරුවරු වැරදි නෑ. දුප්පත් දරුවන්ට ඒ සදහා පහසුකම් , ඩේටා ලබාදිය යුතුයි .හැමදාම අපට මෙහෙම ඉන්න බැ. නමුත් මේ දවස් වල කෙරෙන වැඩෙන් ගමේ දුප්පත් අයටත්, මුදල් තිබුණත් තාක්ෂණික පහසුකම් නැති ප්‍රදේශවල දරුවන්ට සිදුවන්නෙ විශාල අසාධාරණයක්. කොරෝනා නිසා මිනිස්සුන්ට කුලි රස්සාවක් වත්නෑ. ආදායම් නෑ. ඉතින් දරුවන්ට ඩේටා දාන්න අම්ම – තාත්තට සල්ලි නැහැ.

අනෙත් අතට අන්තර්ජාල සහිත දුරකථන දරුවන් අතට දිල දෙමාපියන් පැත්තකට වෙලා හිටියොත් දරුවන් විනාශයට ඇදගන්න පිරිසක් බලාගන ඉන්නවා. ඉස්සර පාසලෙන් කිව්වා දරුවන්ගෙන් ජංගම දුරකථනය ඈත් කරන්න කියල දැන් අන්තර්ජාල සමග දුරකථන දෙන්න වෙලා තියෙනවා.

කොහොම වුණත් පුංචිම දරුවගෙ ඉදල විශ්ව විද්‍යාල දරුවා දක්වා මෙහෙම අන්තර්ජාල “ ඔන් ලයින් “ ගියොත් අනාගතේ දොස්තරල විතරක් නෙමෙයි ගුරුවරුන්, අම්මල. තාත්තලත් දරුවන්ට වෙඩි තියන, දරුවො දෙමාපියන්ට, ගුරුවරුන්ට වෙඩිතියන යුගයක් බිහිවිම වැඩි ඇතක නෙමෙයි.

වලල්ලාවිට කටුදොර ප්‍රදේශයේ පදිංචි විශ්ව විද්‍යාල ශීෂ්‍යයකු වන නිමේශ් චතුරංග.
———————————————————————————-

මේ ප්‍රදේශයේ පුද්ගලික සමාගම් දෙකකම දුරකථන කුළුණු තියෙනවා. නමුත් සංඥා නැහැ. අන්තර්ජාලය භාවිතා කරන ප්‍රදේශයේ ඉන්න ශිෂ්‍යයින් මේ අමුණ ළගට එනවා. මොකද මේ පැත්තටම සංඥා තියෙන්නෙ මේ අමුණ ළග විතරයි. ඔන් ලයින් වැඩ කරන්න වහින වෙලාවට, රාත්‍රියට බැහැ. මේක හරිම කරුමයක්වෙලා. රටේම පාසල් දරුවන්ට ඔන් ලයින් උගන්වනව නමුත් දුරකථන ඇමතුමක් ගන්න සිග්නල් නැහැ.

සුපිරි පහසුකම් තිබෙන බස්නාහිර පලාතේ කළුතර දිස්ත්‍රික්කයේ සන්නවේදන පහසුකම් මෙසේනම් රටේ අති දුෂ්කර හද්දා පිටිසර ගම්බද ප්‍රදේශවල පහසුකම් පිළිබද අමුතුවෙන් කිවයුතු නැත.ඡන්ද්‍රිකා තාක්ෂණයක් නැතිව රූපවාහිණියක් නැරඹීමට පහසුකම් නැතිව ‘ඔන්ලයින්‘ පහසුකම් ගැන කතා කිරිම විහිළුවකි. නමුත් මේවා කතාවට සංවාදයට පමණක් සිමා නොකොට පහසුකම් ඇතිකළ යුතුය.

පාලින්දනුවර හැඩිගල්ල ප්‍රදේශයේ පදිංචි මාධ්‍යවේදී ලලිත් කුමාර මහතා.
———————————————————————————

පාලින්ද නුවර කෙළින්කන්ද පදේශයට මේ ප්‍රශ්නය වසර ගණනාවක සිට තදින්ම තිබුණා. කිසිම දුරකථන ඇමතුමක් හෝ ගන්න බැරි තත්වයක් කිබුණා. නමුත් පසුගිය දිනවල තාවකාලික කුළුණක් ගහලදැන් ඒ ප්‍රදේශවල ප්‍රශ්නය විසදිලා තියෙනවා.

නමුත් ප්‍රදේශ රැසක මේ තත්වය තියෙනවා. මාධ්‍යවේදින් ලෙස අප මේ හේතුවෙන් විශාල අපහසුතාවයකට පත්වෙනවා. ප්‍රවෘත්තියක් යවන්න කන්දක් උඩට නැත්නම් ගලක්උඩට නගින්න ඕනා. මුදල් ගෙවලත් මේ ජනතාවට පහසුකම් නෑ.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

 

Related posts