කිරි ගවයන්ගේ ගව ගැටිති රෝගයට පිලියම් සොයයි

දිවයින පුරා කිරි ගවයන් ආශ්‍රිතව පැතිර යමින් පවතින ගව ගැටිති රෝගයට සුදුසු වැක්සීනය කඩිනමින් නිෂ්පාදනය කරන ලෙස සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය  ඩී.බී. හේරත් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ ඩෙල්ෆ් දූපතින් මුලින්ම හදුනාගෙන මේ වන විට දිවයින පුරා පැතිර ගොස් ඇති ගැටිති රෝගය මැස්සෙකු මගින් ව්‍යාප්ත වන බව හදුනා ගෙන ඇති බව ගන්නෝරුව ජාන සම්පත් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේදී පැවැති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මේ බව කීවේය.

එංගලන්තය වෙත යවන ලද රෝගී සතුන්ගේ සාම්පලවල වාර්තා මෙරටට ලැබුණු බවත් ඒ අනුව ගවයාට විදින මැස්සා නිසා රෝගය ඇතිවී මැස්සා මගින්ම එය ව්‍යාප්ත වන බව ඒ මහතා කීහ.

ගව ගොවිපලක සතුන්ගෙන් සියයට හතළිහක් පමණ මෙම රෝගයට පාත්‍ර වන අතර ඉන් සියයට පහක් පමණ මරණයට පත්විය හැකි යැයි අමාත්‍යවරයා කීහ. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගන්නෝරුව සත්ව පර්යේෂණ මාධ්‍යස්ථානයෙන් නිෂ්පාදිත ප්‍රතිකාර වැක්සීනය රුපියල් හයසියයක් වැනි මුදලකට ලබාදිය හැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

එම ප්‍රතිකාරය ලැබෙන තුරු ගොවියන් සිය ගොවිපොල හා සතුන් හැකි උපරිම අයුරින් පිරිසිදුව පවත්වා ගත යුතු යැයි ද රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Related posts