මානව හිමිකම් කවුන්සලය පදනම් විරහිතව රටේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීම වැරදියි

Dinesh-Gunawardana

ජිනීවා මානව හිමිකම් කවුන්සලය පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට දරන උත්සාහය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත් දේශපාලන හා ආර්ථික ස්ථාවර බව ශක්තිමත් කරමින් මෙරට සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට වත්මන් රජය කැප වී සිටින බවත් සභානායක, විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ජාත්‍යන්තරය විසින් කියන සෑම දේම පිළිගැනීමට රජය සූදානම් නොමැති බවත් වත්මන් රජය සෑම අවස්ථාවකදීම කටයුතු කරන්නේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා වන පරිදි බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඊළාම් රාජ්‍යයක් ශ්‍රී ලංකාවේ ගොඩනැඟීමට දැරූ ප්‍රයත්නයට සහයෝගය දුන් පිරිස් වර්තමානයේදීත් වෙනස් මුහුණුවරකින් එම උත්සාහයේ නිරතව සිටින බවද ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ, ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ මානව හිමිකම් කොමසාරිස්වරිය වූ මිෂෙල් බැච්ලේ ශ්‍රී ලංකාවට ‍එරෙහිව ඉදිරිපත් කළ වාර්තාව කොටස් දෙකකට බෙදිය හැකි බවයි.

කොටි සංවිධානය සමඟ පැවති ගැටුමේදී නැති වූවේ යැයි කියන ජීවිත පිළිබඳ විභාග කිරීම සඳහා ඇති පැමිණිලි සහ පැවති පසුගිය රජය පරාජයට පත් කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා රටේ ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය රැක දීම වෙනුවෙන් කටයුතු කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය සම්බන්ධ විවේචන එම කොටස් දෙක බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

Related posts