නීතියට පිටින් ඝාතන රැසක්

බන්ධනාගාර තුල  පමණක් නොව ඉන් පිටත සමාජයේත් පහුගිය මාස කිහිපය තුල නීතියට පිටින් ඝාතන රැසක් සිදු වී ඇතැයි රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ පිලිප් දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුයේ 72 ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන්  (10) දින රයිටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය හා වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකතුමුතව විසින් පවත්වන ලද සංවාද මණ්ඩපයේදීය. මෙය ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් කථා කළ පිලිප් දිසානායක මහතා,

“රටක් ලෙස විශාල  වශයෙන් මානව හිමිකම් ගැටළු රැසක් සම්බන්ධයෙන් මුහුණ දෙමින් සිටින අවස්ථාවක් මෙය. පහුගිය 29 දා පෝය දවසේ සිදු වූ සිද්ධියත් සමඟ අද අපට මානව හිමිකම් දිනය සමරන්න සිදු වෙලා තියෙන්නේ.

අප හැමදාමත් මානව හිමිකම් දිනය සැමරුවත් හැමදාම සිද්ධ වෙලා තියෙන්නේ මානව හිමිකම් වල මූලික දේවල් කථා කිරීමට. ඉන් පළමු වැන්න වන්නේ අපි සියලු දෙනා සුරක්ෂිතද යන්නයි. අපි කිසිම කෙනෙකු අද සුරක්ෂිත නැහැ. සියලුම ක්ෂේත්‍ර වල අසන්නට ලැබෙන්නේ මිලේච්ඡ යුගයේ ඇති වූ සිද්ධීන්.

ආසන්නම සිදුවීම වුණේ රජයේ ආයතනයක් භාරයේ සිටි පුද්ගලයින් 11 කු මිය ගොස් 107 කු තුවාල ලැබීමයි. බිත්ති හතරක් මැද, රජයේ ආයතනයක් භාරයේ සිටින පුද්ගලයින්ව ආරක්ෂා කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් රටක පුරවැසියන් ලෙස අප ලැජ්ජා විය යුතුයි.  මේ මහර සිදුවීම පළමු සිදුවීම නොවන අතර අවසාන සිදුවීමද නොවන්නට පුලුවන්. නමුත් මෙය අවසාන සිදුවීම බවට පත් කර ගන්න අප උත්සහ කළ යුතුයි.

1983 දීත් වැලිකඩ බන්ධනාගාරයේ මෙවැනිම සිදුවීමක් නිසා 54 කට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් ඝාතනයට ලක් වුණා. 2012 වසරේදීත් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය වුණා. බෝගම්බර බන්ධනාගාරයේත් මහර සිද්ධියට සතියකට පමණ පෙර වෙඩි තැබීමක් වුණා. ඊට පස්සේ මහර බන්ධනාගාරයේ රැඳවියන් 11 ක් ඝාතනය වුණා.

බන්ධනාගාරයේ පමණක් නොව ඉන් පිටත සමාජයෙත් මෙවැනි ඝාතන සිදු වුණා අපි දැක්කා. පොලිස් අත්අඩංගුවට පත් වෙන පුද්ගලයින් විවිධ හේතු ඉදිරිපත් කරමින් නීතියට පිටින් පහුගිය මාස කිහිපය පුරා ඝාතනය වුණා.  මානව හිමිකම් කොමිසන් සභාව පොලිස්පතිවරයාට දන්වා තිබුණේ පහුගිය ජුනි මාසේ සිට මේ දක්වා නිති විරෝධි ඝාතන අටක් සිදු ව ඇති බවත් වහාම ඒ පිලිබඳ අවධානය යොමු කරන්න කියලා.

අපේ රටේ මේ ඝාතන, අතුරුදහන් කරවීම් සහ වධහිංසා කියන එක අපේ සමාජයට අතීතයේ ඉඳලම මිශ්‍ර වෙලා තියෙන්නේ. අපි නිදහස ලබා ගත් දා ඉඳලම මෙයට අඩුවැඩි වශයෙන් මුහුණ දුන්නා මිසක් අඩු කරගන්න ලැබිලා නැහැ. නමුත් මානව හිමිකම් කොමිසන් සභාව පහුගිය අවුරුදු දෙක තුල අතුරුදහන් වීම් සිදු වෙලා නැහැ කියලා වාර්තාවක් ඉදිරිපත් කරලා තිබුණා. ඒක සතුටට කරුණක්. එත් එක කාලයක් අතුරුදහන් වුවන් වාර්තා වෙන වැඩිම රට ලංකාව ලෙස නම් කෙරුණා.

මේ නීති විරෝධි ඝාතන සිදුකරන පුද්ගලයින්ට ඒ සඳහා අවශ්‍ය වටපිටාව, වාතාවරණය සැකසිලා තියෙනවා. මේ ඝාතන, අතුරුදහන් කරවීම්, වධහිංසා බරපතල අපරාධ ලෙස නීතියෙන් හඳුන්වා දුන් තිබුණත්, ඒ්වාට විශාල දඩුවම් ලැබිය යුතු බව පොත් වල සඳහන් කර තිබුණත් ඒ්කට සම්බන්ධ පුද්ගලයින්, නිලධාරීන් බියක් සැකයක් නොමැතිව අතීතයේ පටන් කරගෙන යනවා. එවැනි සිදුවීමක් වුණහම ඒ නිලධාරීන්ගේ සම්පුර්ණ ආරක්ෂාව තහවුරු කරලා තියෙනවා. ඒ නිසා අද එවැනි අපරාධයක් කරන කෙනෙකුට කිසිම දඬුවමකින් තොරව, තමන් ඉන්න තනතුරේ ඉහළට යන්න පවා හැකියාව ලැබිලා තියෙනවා. සමාජයක් ලෙසත් ඊට අවශ්‍ය අනුමැතිය ලබා දිලා තියෙනවා.

හිංසාවන් ගැන කථා කරද්දී බරපතලම හිංසාවන් සිදුවන්නේ ආගමික ආකෘති තුල. එවැනි සමාජයක අප ඉන්නේ. සමාජයේ යහපත වෙනුවෙන් රජයට වගේම අපේත් වගකීම් ඉටු කරන්න ඕනේ. අපි හැමදාම කළේ ඇඟිල්ල දික් කරපු එක. නමුත් මේ රජය හදලා තියෙන්නේ අපි. අපි තමයි රජයට අපේ නියෝජිතයෝ යවලා තියෙන්නේ.

ඒ හැම විටම අපි අදාල නියෝජිතයෝ නම් යවලා තියෙන්නේ මේ රට මෙහෙම වෙන්න බැහැ. පහුගිය කාලේම අපි දැක්කා බොහෝ අපරාධ වලට සම්බ්නධ පුද්ගලයින් තමා නියෝජිතයෝ හැටියට පත් කරලා තියෙන්නේ. සමහර වෙලාවට ඒ නියෝජිතයා තමා ප්‍රදේශයේ වැඩිම මනාප හෝ ඡන්ද ප්‍රතිශතය ලබාගෙන තියෙන්නේ. ඒ පුද්ගලයා ඇවිත් තමයි අපිව පාලනය කරන්නේ.

අපි මේ ගැන හිතන්න ඕනේ. කථා කරන්න ඔිනේ. අලුත් ලෝකයත් එක්ක එකතු වෙලා පුරවැසියන් හැටියට අපි ඉදිරියට යන්න ඕනේ. ඔිනෑම දියුණු සමාජයක වුණත් අපරාධ සිදුවෙනවා. නමුත් ඒ අපරාධය කළ පුද්ගලයා නීතිය මඟින් අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූල ලෙස දඬුවම් ලබා දුන්නොත් තමා ඒ සමාජය සුවපත් වෙන්නේ. වින්දිත ත්ත්වයට පත් වු තැනැත්තට යුක්තිය ලැබෙන්නේ.

නමුත් අපේ රටේ සම්පුර්ණයෙන්ම සිදුවන්නේ එහි අනික් පැත්ත. අපරාධකරුට තමා සමාජයේ පිළිගැනිම ලැබන්නේ. ඔහුට අපරාධ කිරීම සඳහා අවශ්‍ය පසුබිම හැදෙනවා. මෙහි සම්පුර්ණ වැරැද්ද තියෙන්නේ ඡන්ද දායකයා අතේ. ඔහු ඔහුගේ පරමාධිපත්‍ය බලය නිසි අයුරින් භාවිතා කළානම් අපරාධකරුවන් මහජන නියෝජිතයෝ වෙන්නේ නැහැ.

මේ රටේ අපරාධ සංස්කෘතිය නිර්මාණය වීමට පුරවැසියන් ලෙස අප සම්පුර්ණ ලෙස දායක වෙලා තියෙනවා. මෙය අපි පිළිගන්න ඕනේ. මෙය වෙනස් කරන්න නම් අපි අපේ ඡන්දය හරියට භාවිතා කරන්න ඕනේ. සමාජ බලවේගයක් හදාගෙන මේවා සිදු කරන පුද්ගලයින්ට, අදාල ආයතන වලට බලපෑම් කළ යුතුයි මේවා නැවැත්විය යුතු බවට.

බන්ධනාගාරයේ ඇතුලත ඉන්න සිරකරුවෝ අතරින් බලය, මුදල් තියෙන අයට මනුස්සයින්ට වගේ සලකනවා. බලයක් නැති පුද්ගලයින්ට සලකන්නේ අමනුස්සයින්ට වගේ. සිරකරුවෝද මනුස්සයෝ කියලා ගහලා තිබුණට එය තනිකරම වහල් කඳවුරක්. අපි රෝහල් පද්ධති, මාර්ග පද්ධති දියුණු කරනවා වගේම මේ අධිකරණ පද්ධතියත් දියුණු විය යුතුයි. ප්‍රතිශෝධනයකට ලක් විය යුතුයි.

අයිරංගී එදිරිසිංහ / උපුල් ආනන්ද

උපුටා ගැනීම – www.aithiya.lk

Related posts