ජිනීවා නැවතත් වේදිකාවේ

ජිනීවා ගැන නැවතත් කතාබහක් නිර්මාණය වී තිබේ. ඒ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය ලබන පෙබරවාරි මාසයේ 22 දා ආරම්භවීමත්, ඒහි දී ලංකාව පිලිබදව විශේෂයෙන් සාකච්ඡා වීමට නියමිත වී තිබීමත් නිසාවෙනි.

පසුගිය යහපාලන රජය විසින් සම අනුග්‍රාහකත්වය සැපයූ ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධය සම්බන්ධව ඒක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 යෝජනාවලින් වතමන් රජය පසුගිය සැසිවාරයේ දී නිල වශයෙන් ඉවත් විය.

විදේශ කටයුතු පිළිබදව ඇමති දිනේෂ් ගුණවර්ධන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ මෙම යෝජනාවන්ට සම අනුග්‍රාහක්වය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගෙන්, පාර්ලිමේන්තුවෙන් හෝ පොදුවේ මහජනයාගේ නිසි අවසරයකින් තොරව බවත්, එනිසා ඒම යෝජනා ක්‍රියාත්මක වීම තුළින් ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට, ස්වාධිපත්‍යයට හා ජාතික ආරක්ෂාවට හානියක් සිදු විය හැකි නිසා මින් ඉවත්වන බවත්ය.

සමඅනුග්‍රාහකත්වයෙන් ඉවත්වනු ලැබුවත් ඔහු විසින් අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය හි වූ යෝජනා පහක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබුනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට, සංහිඳියා හා වගවීමේ ක්‍රියාදාමය සදහා දේශීය යාන්ත්‍රණයක් ගොඩනැගීම, මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය වීම් පිළිබඳ චෝදනා විමර්ශනය කළ පූර්ව විමර්ශන කොමිසම් වාර්තා සමාලෝචනය කිරීම, මේ සම්බන්ධව කටයුතු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයකු යටතේ විමර්ශන කොමිසමක් පත්කිරීමත් ඊට ඇතුළත් විය.

ඒම යෝජනාවන්ට අනුව, පසුගිය 21 වැනිදා ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරය ආරම්භ වීමට ටික දිනකට ප්‍රථම ජනාධිපතිවරයා විසින් ත්‍රිපුද්ගල විමර්ශන කොමිසමක් පත්කරන තිබේ. මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතාය.

විශ්‍රාමික පොලිස්පතිවරයෙක් වන චන්ද්‍රා ප්‍රනාන්දු, විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්වරයෙක් වන නිමල් අබේසිරි යන මහත්වරු කොමිසමේ අනෙක් සාමාජිකයෝය. මාස 6ක් ඇතුළත කොමිසමේ අවසන් වාර්තාව භාරදෙන ලෙස ඔවුන්ට දැනුම් දී, තිබේ.

මෙම කොමිසම මගින්,

අ. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් විමර්ශනය පිණිස කලින් පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් බරපතළ ගණයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, බරපතළ ගණයේ අන්තර්ජාතික මානුෂීය නීති කඩකිරීම් සහ වෙනත් එවැනි බරපතළ වැරදි අනාවරණය කරගෙන තිබේදැයි සොයා බැලීම

ආ. එකී පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටු විසින් අනාවරණය කරගත් මානව හිමිකම් සහ මානුෂීය නීති කඩකිරීම් සහ වෙනත් එවැනි වැරදි සම්බන්ධ තොරතුරු කවරේදැයි හඳුනාගැනීම සහ ඒ මත පදනම්ව ගතයුතු ක්‍රියාමාර්ග නිර්දේශ කොට තිබේදැයි සොයා බැලීම

ඇ. එකී නිර්දේශ අරබයා පවත්නා නීතිය ප්‍රකාරව මෙතෙක් ක්‍රියාකාර ඇති ආකාරය හා වත්මන් රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව එකී නිර්දේශ ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ගතයුතු පියවර නිශ්චය කිරීම

ඇ. පළමුවැනි සහ දෙවැනි ඡේදවලට අනුකූලව අවශ්‍ය පියවර ගනිමින් තිබේදැයි අධීක්ෂණය කිරීමත් සිදු කළ යුතුය.

මෙම කොමිසම පත්කිරීම සම්බන්ධයෙන් දැනටමත්, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විවේචන එල්ලවන අතර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් කියා සිටියේ, ‘රජය විසින් පත් කරන ලද මානව හිමිකම් කමිටුව ඇස්බැන්දුමක් පමණක්’ බවයි.

මේ අතර, මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැෂලේගේ වාර්තාව නිල වශයෙන් නිකුත්ව තිබෙන අතර ශ්‍රී ලංකාවේ අතීත මානව අයිතිවාසිකම් ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් විමෙන් මානව අයිතිවාසිකම් නැවත කඩ කිරීමේ අවදානම සැලකිය යුතු ආකාරයෙන් උත්සන්න වී ඇතැයි ඇයගේ වාර්තාවෙන් අනතුරු හඟවයි.

ඒමෙන්ම, 2020 ඔක්තෝබර් 22 වෙනි දින තුනෙන් දෙකේ බහුතර බලයෙන් සම්මත කරගන්නා ලද 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ආණ්ඩුවේ විවිධ කොටස් අතර පැවති බලතුලනය වෙනස් කරන ලද බව වාර්තාව පෙන්වා දෙයි. “20 වැනි සංශෝධනය මගින් ජාතික මානව හිමිකම් කොමිසම, මැතිවරණ කොමිසම, ජාතික පොලිස් කොමිසම සහ අධිකරණය ඇතුළු ආයතනවල ස්වාධීනත්වය මූලික වශයෙන්ම අඩපණ කර දැමීම ගැන මහකොමසාරිස්වරිය අවධානය යොමු වී තිබේ.

මේ අතර, මෙවර පැවැත්වෙන 46 වන සැසිවාරය සදහා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව, මොන්ටිනිග්‍රෝව සහ එක්සත් රාජධානිය යන රටවල් විසින් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ ලක්ෂ්‍ය කණ්ඩායම විසින් ඉදිරිපත් කිරීමට ඉඩ ඇති බවත්, ඊට ඇමෙරිකා එක්සත් ජනපදයේ ද සහයෝගය ලැබෙනු ඇතැයි ජිනීවා ආරංචි මාර්ග කියා සිටින බව ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙබ් අඩවිය වාර්තා කරයි.

Related posts