යුදහමුදා කදවුරකට ලබාදුන් ඉඩම නැවත ලබා ගැනීමට සැරසෙයි

පැවති යුදමය වාතවරණය හමුවේ වසර ගණනාවක් පදිංචිව සිටි ඉඩම අතර මැදි යුදහමුදා කදවුරකට ලබාදුන් ව්‍යාපාරිකායාගෙන් එම ඉඩම උදුරා ගැනීමට මිහින්තලය ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලයේ මුදලට ගිජුවූවන් පිරිසක් පිඹුරුපත් සකසමින් සිටිනා බව   ථෙතිහාසික දොරමඩලාව ගම්මානයේ ජනතාව අනාවරණය කළහ.

මිහින්තලය දොරමඩලාව පාර පුදුක්කුලම කමත්ගල ප්‍රදේශයේ අක්කර අටක් පමණ වන ඉඩමක ගොවිතැන් සිදුකර ගල්වලක් පවත්වා ගෙන ගිය එච්.එම් විමල් මහතා 2003-2004 වර් ෂයේදි රටේ පැවති තත්වය හමුවේ අතර මැදි යුද හමුදා කදවුරක් වෙනුවෙන් ගිවිසුම් ප්‍රකාරව ලබාදි තිබුණි.

එවකට හිටපු ප්‍රාදේශිය ලේකම්වරයා හා තුලාන බාර ග්‍රාම නිලධාරිවරයා ඔහුගේ ක්‍රියාව අගයමින් නැවත යුද හමුදා කදවුරු ඉවත් කළ වහාම ඉඩම නැවත ලබාදිමට පොරොන්දු වෙමින් ලිඛිතව ඉඩම කදවුර සදහා ලබාදි තිබේ.මීට සති කිහිපයකට ඉහතදි අදාල කදවුර එම ස්ථානයෙන් ඉවත්කර තිබේ.

කදවුර ඉවත්විමෙන් පසුව හිස්වූ ඉඩම මොරටුවේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකුට මුදල් වාසි අපේක්ෂාවෙන් ලබාදිමට බලා සිටිනා ග්‍රාමනිලධාරි වරයෙකු ඊට අවශ්‍ය අවශ්‍ය පිඹුරුපත් සකසමින් සිටිනා බව ගම්මුන් පැවසුහ.

ඉඩම බුක්ති විදිමින් සිටි එච්.එම් විමල් මහතා තමින්ට ඉඩම නැවත ලබාදෙන ලෙස නීත්‍යාණුකූලව මිහින්තලය ප්‍රාදේශිය ලේකම්වරයාගෙන් හමුවි ඉල්ලිම් කළ අවස්ථාවේ ඔහු ඊට විරෝධය පලකරමින් ඒවා රජයේ ඉඩම් යැයි කියමින් ගෝරනාඩු නැගු බව ඔහු පැවසුවේය.

මම මේ ඉඩමේ ගල්වැඩ පොලක් පවත්වා ගෙන ගියා ගොවිතැන් කරගෙන ගියා ඒවා තවමත් තියනවා.රටේ පැවති අවශ්‍යතාවට තමයි මම ඉඩම අතර මැදි කදවුරට දුන්නේ.දැන් ඉඩම මොරටුවේ පදිංචි ප්ලාස්ටික් කර්මාන්ත ශාලා හිමිකරුවෙකුට දෙන්න යනවා.

පළාතේ මිනිස්සුන්ගේ බඩට ගහලා පිටස්තර කෝටිපතියන්ට ගම්වල ඉඩම් දෙනවා.මේ මොන නීතියක්ද?දොරමඩලාව රජමහා විහාරස්ථානයේ නායක හිමිපානන් වන රාජකීය පණ්ඩිත පමුණුවේ සුමනජෝති නායක ස්වාමින්වහන්සේ පවා දන්නවා මම මේ ස්ථානයේ හිටියා කියලා.

ගම්මුන් 35 දෙනෙකු දිවුරුම් ප්‍රකාශ දෙන්න අත්සන් කරලා තියනවා.මම 2001 වසරේ මේ ස්ථානයේ ව්‍යාපාර කටයුතු හා ගොවිතැන් ආරම්භ කළේ.දැන් කියන්නේ ඉඩම ආපහු දෙන්නෑ කියලා.මම දරුවෝ හතර දෙනෙක් ඉන්න මනුස්සයෙක් හෙට අනිද්දා ඇවිල්ලා මම මේ ඉඩමේ පදිංචිවෙනවා.

මේවා අපිට නීත්‍යාණුකූලව දෙන එක තමයි ප්‍රාදේශිය ලේකම්ගේ වගකීම.නමුත් එතුමා පිටස්තරින් එන මිනිස්සුන්ට මේවා බන්දේසියේ තියලා දෙන්න බලාගෙන ඉන්නවා යනුවෙන් විමල් මහතා පැවසුවේය.

මෙම ඉඩම මොරටුවේ ව්‍යාපාරිකයෙකුට ලබාදිමේ ව්‍යාපෘතියේ ඉහලින්ම කළුතර ප්‍රදේශයෙන් දඩුවම් මාරු ලැබු ග්‍රාම නිලධාරිවරයෙකු සිටිනා බව ගම්මුන් අනාවරණය කළ අතර ඔහුගේ කාර් ය ප්‍රදේශයේ ඇති වටිනා ඉඩම් විවිධ පුද්ගලයන්ට ලිපි ලේඛණ සකසා විකිණිම බව ගම්මුන් චෝදනා කළහ.

පසුගිය (01දා) ග්‍රාමනිලධාරිවරයා ව්‍යාපාරිකයා මිහින්තලය නගරයට කැදවාගෙන පැමිණ නිවාඩු නිකේතනයක මත්පැන් සාජ්ජයක් පැවත්වු බවත් ඔවුන් අනාවරණය කළ අතර ඉඩම රුපියල් කෝටි 15ක මුදලකට ඔහුට අලවි කිරීමට රාජ්‍ය නිලධාරින් පිරිසක් පිඹුරු සකසනා බව ඔවුන් කීහ.

මේ සම්බන්ධයෙන් මිහින්තලය ප්‍රාදේශිය ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි මෙසේ පැවසුවේය.මේ ඉඩම රජයට අයිති ඉඩමක්.ඒක ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් ඉදිකරන්න මොරටුවේ ව්‍යාපාරිකයෙක් ඉල්ලලා තියනවා.

නමුත් තාම ඒක දෙනවද නැද්ද කියලා කිසිම පියවරක් අරගෙන නෑ.දෙනවා නම් බදු පදනමකින් දෙන්නේ.මේ ආයතනය පටන් ගත්තොත් විශාල පිරිසකට රැකියා ඇතිවෙනවා යනුවෙන් ඔහු පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts