රන්පත්විල මහ විද්‍යාලයට කුඩම්මාගේ සැලකිලි

ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කාලාප කාර්යාලයට අයත් කහටගස්දිගිලිය අධ්‍යාපන කොට්ඨාසයේ රන්පත්විල මහ විද්‍යාලයට බලධාරින්ගේ කුඩම්මාගේ සැලකිලි හේතුවෙන් අධ්‍යාපනය ලබන දරු දැරියන්ට හා ගුරුවරු ගුරුවරියන්ට දැඩි පීඩාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව පළමු වසර සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමාපියන් පිරිසක් පැවසූහ.

වර්ෂ 1922 ජුලි මාසයේ ආරම්භ කරන ලද විදුහලට වසර 99 දිගු ඉතිහාසයක් ඇති අතර සිසු සිසුවියන් දහසක පමණ පිරිසක් විදුමව් සෙවනේ අධ්‍යාපන ලබයි.මෙම පාසල දශක කිහිපයකට පෙර පාර් ලිමේන්තුව නියෝජනය කළ කථානායකවරයෙකු බිහිකළ පාසලක් වන අතර රාජ්‍ය අංශවල හා පෞද්ගලික ආයතන වල උසස් රැකියාවන් වල නිරත වන පුද්ගලයන් විශාල පිරිසක් මූලික අධ්‍යාපනය ලැබූ පාසලයි.

වසර සියයකට ආසන්න අතීතයකට හිමිකම් කියන පාසලේ බොහෝමයක් අඩුපාඩු පවතින බව දෙමාපියන් සඳහන් කර සිටින අතර ගොවිතැන ජීවිකාව කරගත් අසරණ ගොවි දෙමාපියන්ගේ දරුවන්ව පාසලට ඇතුලත් කර අධ්‍යාපනය ලබාදෙන බවත් එම සිසුන් අතර විවිධ දක්ෂතාවයන්ගෙන් යුක්ත පිරිසක් සිටියත් එම දක්ෂතාවයන් පෙන්වමින් ඉදිරියට යන්නට තරම් පාසලේ පහසුකම් නොමැති බව දෙමව්පියන් පෙන්වා දුන්හ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නගරයේ පාසල් වලට විශාල වශයෙන් භෞතික මානව සම්පත ලැබුණත් කහටගස්දිගිලිය රන්පත්විල පිහිටි පාසලට අධ්‍යාපන බලධාරින්ගේ කිසිදු අවධානයක් යොමුවි නැති බව දෙමාපියන් පැවසූහ.අවම පහසුකම් යටතේවත් ඔවුන්ට අධ්‍යාපනය ලබන්නට වාසනාවක් නොමැති බව සිසු දරුවන්ගේ දෙමාපියන් අනාවරණය කළහ.

ප්‍රමාණවත් ගොඩනැගිලි පහසුකම් නොමැති පාසලේ පන්ති පවත්වන්නේ පාසල් භූමියේ පවතින ගස් යට හා පහසුකම් නැති ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයේය.පාසලට පැමිණෙන දරුවන්ගේ වැඩ වීමත් සමග පාසල් දරුවන්ගේ දෙමාපියන් ඉදිකළ කුකුල් කූඩූ වැනි මඩු කීපයක ඉතා අසීරුවෙන් දරුවන් අකුරු කරති.

පාසල් දරුවන්ට සෞන්දර්ය විෂය උගන්වන ශාලාව මුළුමනින්ම දිරාපත්ව ඇති අතර එහි වහලය සහ බිත්තිවල වේයන්ගේ තුඹස් බැදි රජදහනක් බවට පත්වි තිබේ.ඉගෙනුම ලබන දරුවන්ට වැසි සමයට පාසල තහනම් කලාපයක් වන්නේ පාසලේ පවතින බොහොමයක් ගොඩනැගිලිවල වහල අබලන්වීම හේතුවෙන් පාසල් ගොඩනැගිලි තුළට ජලය ගලා ඒම නිසාය.

පාසලට පරිඝණක විද්‍යාගාරයක් ඇතත් එහි පරිඝණක භාවිතයට ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වි තිබෙනා අතර ඒවා ගබඩා කාමරයක ගොඩගසා තැබීමට සිදුව ඇත්තේ අධ්‍යාපන බලධාරින්ගේ අවධානය යොමු නොවීම හේතුවෙනි.

කහටගස්දිගිලිය රන්පත්විල විදුහලේ ආදි ශිෂ්‍ය සංගමය පවසා සිටින්නේ පාසල තුළ පවතින පරිඝණක 2000 වසරේ මුල් භාගයේ පාසලට ලැබුණු ඒවා වන බැවින් නූතන තාක්ෂණයට නොගැලපෙන බවයි.

පාසලේ දරුවන්ට අධ්‍යාපනයට අමතරව ක්‍රීඩා අත්‍යාවශ්‍යවූවත් ක්‍රීඩා උපකරණ සහ පීඩා භූමිය නිසියාකාර නොමැතිවීමෙන් පාසල් දරුවන්ට ක්‍රීඩාවත් අහිමිවි තිබෙන බව ඔවුන් පැවසූහ.

නිදහස් අධ්‍යාපනයට අනුව නිදහසේ අධ්‍යාපනය ලබා හෙට දිනයේ දැනුමින් සන්නද්ධවීමට ඇති අයිතිය අධ්‍යාපන බලධාරින් විසින්ම වලකා ඇති අයුරක් පාසලේ වර් ථමාන තත්වයත් සමග හොදින් පෙනී යන අතර අසරණ ගොවි දෙමාපියන්ගේ දරුවන්ට කායික මානසික පීඩාවෙන් තොරව අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය වටපිටාවක් ඇති කිරීම අධ්‍යාපන බලධාරින්ගේ වගකීම නොවන්නේද?

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

Related posts