ඇවන්ට් ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් නීතිපතිගේ හා සොලිසිටර් ජනරාල් වරයාගේ අවසරයකින් තොරව ගෝටාභය ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අතිරේක සොලිසිටර් ජනරාල් වසන්ත බණ්ඩාරගේ අත්සන ලබා ගත්තා යැයි විජේදාස රාජපක්ෂ දිවයින පුවත්පතට සිදු කල ප්‍රකාශය අමූලික පට්ටපල් බොරුවක් බව වසන්ත බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කරන ලදී.එය ඔහු දකින්නේ දේශපාලන බඩගෝස්තරවාදියෙක් තමන්ගේ තනතුරැ ලබා ගැනීමට දරන ප්‍රයත්නයක් ලෙස බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා දේශපාලනය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවත් එහි අවංක නිලධාරීනුත් පාවා දෙන බවද ඒ මහතා ප්‍රකාශ කරන ලදී. තමා නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි කාලයේ අවංකව රාජකාරී කල බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ නඩුවෙන් පවා තමා අතරමගදී ඉවත් වූයේ තමා අවංකභාවය හේකුවෙන් බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ තමාට ඇවන්ට් ගාඩ් ලිපිගොනුව ලබා දුන්නේ එවකට නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශය භාරව සිටි සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් බවත් ඔහු මේ අපරාධයට නිසි පියවර ගන්නා ලෙස තමාට උපදෙස් දුන් බවයි.

ඒ අනුව ක්‍රියාත්මක වූ තමා මෙම ඇවන්ට් ගාඩ් ලිපිගොනුවත් අදාළ ආන්දෝලනාත්මක නැවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග ගොස් පරීක්ෂා කර බලා මෙය බරපතළ අපරාධයක් ලෙස හඳුනා ගෙන නිශ්ශංක සේනාධිපති හා ගෝටාභය රාජපක්ෂ ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාට රෙකමදාරු කල බව ප්‍රකාශ කරන ලදී. ඉහළ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේදී නීතිපති තුමා හා සොලිසිටර් ජනරාල් තුමා දැනුවත් කල යුතු බවට නියමයන් නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කරන ලදී. ඒ අනුව මේ සිදුවීම නීතිපතිවරයා හා සොලිසිටර් ජනරාල්වරයා නොදැන සිටි බවට කරන ප්‍රකාශය අමූලික බොරුවක් බව ඒ මහතා ප්‍රකාශ කරයි.

Similar Posts