සරසවි ශිෂ්‍යාවක ලෙස පෙනී සිටි බීබීසී මාධ්‍යවේදිනියකට කථිකාචාර්යවරයකු විසින් ලිංගික හිරිහැර සිදු කරනු ලැබීම සහ ඔහු සතු බලය පාවිච්චි කරමින් තමා සමඟ ලිංගිකව එක්වෙන ලෙස ඇයට යෝජනා කරනු ලබන ආකාරය රහසිගතව පටිගත කරනු ලැබීමෙන් අනතුරුව නයිජීරියාවේ ‘ලේගොස්’ සරසවිය එම කථිකාචාර්යවරයාගේ වැඩ තහනම් කරනු ලැබ තිබේ.

වැඩ තහනමට ලක්වූ ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු (Boniface Igbeneghu) “ෆොර්ස්ක්වයාර්” නම් කිතුනු පල්ලියක (Foursquare church) පූජකවරයකු ලෙසත් කටයුතු කරන ලද තැනැත්තෙකු වන අතර එම ආගමික සංවිධානයත් ඔහුගේ ක්‍රියාවන් හෙළා දැකීමට ලක් කරයි.

“බීබීසී අප්‍රිකානු ඇස” (BBC Africa Eye) නම් වැඩ සටහන මගින් වසරක පමණ කාලයක් සිදුකළ ගවේෂණයක කොටසක් ලෙස විශ්වවිද්‍යාල ඇදුරන් කීපදෙනෙකුගේ චර්යාවන් රහසිගතව රූපගත කරන ලද අතර ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු ඔවුන්ගෙන් එක් තැනැත්තෙක් පමණි.

එම බීබීසී චිත්‍රපටයේ බටහිර අප්‍රිකාවේ ඉහළම පිළිගැනීමක් සහිත සරසවි දෙකක අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් සිදු කරනු ලබන ලිංගික අතවර දර්ශන ප්‍රදර්ශනය කෙරෙන අතර, එම දර්ශන දක්නට ලැබීමත් සමඟ සමාජ මාධ්‍යජාලයෙහි මහා කතිකාවක් ආරම්භ විය.

වෙස්වළාගත් බීබීසී මාධ්‍යවේදිනිය, ආචාර්ය බොනෆේස් ඉග්බෙනෙගු හමුවට යන්නේ සරසවියට ඇතුළත් වීම සඳහා උපකාර පතන දාහත් හැවිරිදි ශිෂ්‍යාවක ලෙසය. එම අවස්ථාවේ ආචාර්යවරයා බීබීසී මාධ්‍යවේදිනියට ඉදිරිපත් කළ අනුචිත ප්‍රශ්න සහ ඇයට කරන යෝජනා රහසිගතව පටිගත කරන ලද චිත්‍රපටයට ඇතුළත් වෙයි.

ඔවුන් දෙදෙනා අතර සිදු වූ අවසන් හමුවේ දී ආචාර්ය ඉග්බෙනෙගු, ශිෂ්‍යාවකගේ චරිතය රඟන ගවේශනාත්මක මාධ්‍යවේදිනියට ශාරීරික හිරිහැර කරයි. දොරගුළු ලෑ කාර්යාල කාමරයේ දී ඇය සිප ගන්නදැයි ආචාර්යවරයා “ශිෂ්‍යාවගෙන්” අසයි.

තමාට අකීකරු වුවහොත් ඇයගේ මවට පැමිණිලි කරන බවට ඔහු “ශිෂ්‍යාවට” තරවටු කරන ආකාරයක් ද චිත්‍රපටයේ දක්නට ලැබෙයි. (උපුටා ගැනීම – බීබීසී සිංහල)

වැඩි විස්තර – https://www.bbc.com/sinhala/world-50074393

 

Similar Posts