ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය අද (01)ට යෙදී තිබේ.සකල ලෝකවාසී වැඩ කරන ජනයා විසින් මෙවර සමරනු ලබන්නේ 137 වන මැයි දිනයයි.

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ සංවිධානය කරන මැයි රැළි, කොළඹ සහ මහනුවර නගර කෙන්ද්‍ර කර ගනිමින් අද (01) පැවැත්වෙයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේ බොරැල්ල , කැම්බල් පිටියේදී පැවැත්වීමට නියමිත බව පක්ෂ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සදහන් කළේ ය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවැසුවේ, සිය පක්ෂයේ මැයි දින රැළිය කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී අද පෙරවරුවේ පැවැත්වෙන බවයි.

සමගි ජන බලවේගයේ මැයි දින රැළිය, කොළඹ ඒ.ඊ ගුණසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

නිදහස ජනතා සභාව සංවිධානය කරන මැයි දින රැළිය අද මහනුවරදී පැවැත්වෙන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ ය.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැලිය පැවැත්වෙන්නේ, කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසළදී ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය මහනුවරදී පැවැත්වෙයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දින රැළිය, නුගේගොඩදී පැවැත්වෙන බව පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සදහන් කළේ ය.

පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින්, 1886 අද වැනි දිනක අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ අසාධාරණයට එරෙහිව නැගී සිටි කම්කරු පිරිසකගේ විරෝධතාවක් හේතුවෙනි. පසුව එම දිනය ලොව පුරා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අවධාරණය කරන සුවිශේෂී දිනය බවට පරිවර්තනය විය.

ශ්‍රී ලංකාවේ කම්කරු ප්‍රජාව ලෝකවාසී කම්කරුවන් සමග එක්සත්ව පෙළ ගැසුණේ, එලෙස තම අයිතීන් දිනාගැනීමේ අඛණ්ඩ අරගලයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

ඒ අනුව, ලංකාවේ ප්‍රථම වරට කම්කරු දිනය සැමරුවේ 1927 වසරේ දී ය. ලංකා ඉතිහාසයේ පළමු මැයි රැළිය 1933 කොළඹ ප්‍රයිස් පිටියෙන් ආරම්භ වී ගාලු මුවදොර පිටියෙන් අවසන් විය.

එසේම ප‍්‍රථම වරට මැයි දිනය ජාතික නිවාඩු දිනයක් බවට පත් වූයේ බණ්ඩාරනායකගේ ආණ්ඩුවෙනි. ඒ වන විට කම්කරු ඇමතිවරයා ලෙස කටයුතු කළේ ටී. බී. ඉලංගරත්න ය. අනතුරුව 1956 දී මැයි 01 දිනය මෙරට නිවාඩු දිනයක් ලෙස නම් කරන ලදී.

Similar Posts