weather-warning

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන කලාපයක් වර්ධනය වී ඇති අතර ඒ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ දකුණු පළාත්වල අද (19) විටින් විට වැසි ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනිත් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

මෙම අඩුපීඩන කලාපය සෙමෙන් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය දෙසට ගමන් කිරීමට ඇති බවත්, ඒ හේතුවෙන් ගිනිකොන දිග සහ නිරිතදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50, 60 පමණ දක්වා වැඩිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Similar Posts