pasgoda

මේ වන විට ආයුර්වේද බේත් මඟින් පස්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොරෝනා වසංගතයේ පැතිරීම 90%ක් මර්දනය කළ බව පස්ගොඩ ආයූර්වේද ප්‍රජා වෛද්‍ය නිලධාරී දර්ශන රාජපක්ෂ මහතා පැවසීය.

ඒ අනුව මේ වන විටත් ගම් මට්ටමින් කණ්ඩායම් පිහිටුවා බෙහෙත් සකස් කිරීමට පුහුණුවක් දී ගමින් ගමට ගොස් කොරෝනා මර්දනයට අවශ්‍ය බෙහෙත් හා පැතිරීම වැළැක්වීමේ කසාය, පැතිරීම වැළැක්වීමේ ක්‍රමවේද ප්‍රතිශක්තිකරණ බෙහෙත් ආදිය දීමෙන් හා ආයුර්වේද ක්‍රම යොදා ගනිමින් මර්දනය කර ඇති බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

මේ වැඩපිළිවෙළේ ප්‍රධානත්වය ගෙන ක්‍රියා කරනා සමාජ සේවක හා විශ්‍රාමික පරිපාලන නිලධාරී විමල් සමරසිංහ මහතා මෙසේ පැවසීය.

“මේ වන විට කණ්ඩායමක් වශයෙන් අපි එකතු වෙලා ගම් මට්ටමින් ගිහින් ප්‍රජා වෛද්‍ය නිලධාරී චතුර හා දර්ශන යන මහත්වරුන් සමඟ කොරෝනා මර්දන කසාය හා ප්‍රතිශක්තිකරණ බෙහෙත රෝගීන්ට හා ජනතාවට ලබා දෙනවා.

මේ දක්වා විශාල පිරිසකට බේත් කර අවසන්. දින තුනෙන් සුවපත් වුණා. බෝ වීම පාලනය වුණා. පවුලේ එක්කෙනෙකුට හැදුනොත් අනෙක් අයට බෝ වෙන්නේ නෑ. කිරුවානාගඟ වත්තේ ද්‍රවිඩ කම්කරුවන් 62කට හැදුණා.

අපි බේත් කරල සියලු දෙනාම බේර ගත්තා. සියලු කම්කරුවන්ට ප්‍රතිශක්තිකරණ බේත දුන්නා. මේ වන විට ග්‍රාම සේවා වසම් මට්ටමින් අපි ක්‍රියාත්මකයි. කිසිම කෙනෙක් අපි දැනුවත්ව මැරෙන්න දෙන්නෙ නෑ,” කිරුවානාගඟ වතු කළමනාකරු ජයතිලක මහතා,

“මගේ වතුයායේ කම්කරුවන් 63 දෙනකුට එකවර පොසිටිව් වුණා. මම මහත් සේ බිය වුණා. ලයින් කාමරවල එක ගොඩේ විශාල පිරිසක් ඉන්නවා. මම හිතුවා මුළු ප්‍රදේශයටම බෝ වේවි කියලා. මේ අය එතරම් දැනුවත් නෑ. ගම්වල ගිහින් ඇවිදිනවා.

පසුව පස්ගොඩ ප්‍රජා සේවා වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු කණ්ඩායමක් ඇවිත් රෝගීන්ට බෙහෙත් හදලා දීලා අනිත් සියලුම කම්කරුවන්ට ප්‍රතිශක්තිකරණ බෙහෙත් දුන්නා. අපි සම්පූර්ණ සහයෝගය දුන්නා.

ඒත් මට මේ ගැන එතරම් විශ්වාසයක් තිබුණෙ නෑ. ආශ්චර්යක් වගේ සියලුම දෙනා සුව වුණා. ඊට පස්සේ බෝ වීමත් නතර වෙලා. මේ වන විට කිසිදු රෝගියකු නෑ. දැන් මම 100%ක්ම විශ්වාස කරනවා මේ බේත් පන්තියේ පිහිටෙන් අපේ වත්තේ කොරෝනාව නතර වුණා කියලා.”

ධර්මදාස සිරිවර්ධන – ගාල්ල දිස්ත්‍රික් සංචාරක

dinamina

Similar Posts