මෙරට පොල් වගාවෙන් සියයට අසූවක ප්‍රමාණයකට සුදු මැස්සාගේ හානිය පැතිරී ඇති බවත් මේ නිසා ඉදිරියේ දී පොල් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ මධ්‍යම පළාත් ප්‍රාදේශීය කළමනාකාර වසන්ත කුමාරසිරි බමුණුකොත්ගෙ මහතා පවසයි.

මධ්‍යම පළාතේ පොල් වගාව තුළ සුදු මැස්සාගේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ආරම්භ කරන වැඩසටහන් අතුරින් එහි පළමු වැඩසටහන ගම්පොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ දී සිදු කරමින් ඒ මහතා මේ බව පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ මෙරට පොල් වගාව ප්‍රධාන ලෙස ඇති දකුණ, බස්නාහිර හා වයඹ පළාත් තුළ මේ වන විට සුදු මැස්සාගේ ව්‍යාප්තිය හා හානිය ශීඝ්‍ර ලෙස පැතිරී ගොස් අවසන් බවයි.

සෙන්ටිමීටර් දෙකක් පමණ ඉතා කුඩා සුදු මැස්සා පොල් පත්‍රවල යටි පැත්තේ වාසය කරමින් පොල් ගසට සිදු කරන හානිය නිසා පොල් ගස ක්‍රමයෙන් කහ ගැන්වී එහි වර්ධනය බාල වීම සමඟ පොල් ඵලදාව ශීඝ්‍ර ලෙස පහත වැටෙමින් පවතින බවත් පොල් ඵලදාව අඩු වීම නිසා අද වෙළෙඳ පොළේ පොල් හිඟයක් මතුවීම සමඟ පොල් ගෙඩියක් රුපියල් 120 -130 අතර මිලකට ඉහළ යෑමේ අවස්ථා තිබෙන බවත් ඉදිරියේදී තවත් පොල් ඵලදාව අඩු වීම නිසා එහි මිල තවත් ශීඝ්‍ර ලෙස ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් එතුමා පෙන්වා දෙයි. මෙම තත්ත්වය මඟ හැරවීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් දැනටමත් පියවර රැසක් ගෙන තිබෙන බවත් ඉන් ප්‍රධානම දේ හැටියට සුදු මැස්සා මර්දනය කිරීම උදෙසා කොහොඹ තෙල් සමඟ සබන් කුඩු මිශ්‍රණය ඉසීමෙන් මෙය මර්දනය කළ හැකි බව සොයා ගෙන තිබෙන බවත් එය අඩු වියදම් ක්‍රමයක් වන අතර මෙම ක්‍රමය සඳහා ඉසින ටැංකි 45ක් මේ පළාතට ලබාදී තිබෙන අතර තවත් පහසුකම් රැසක් ලබාදීමට පියවර ගන්නා බවත් පවසා සිටියේය.

ඔබේ ගෙවත්තේ පොල් ගස රැක ගැනීම සඳහා ළඟම සිටින පොල් සංවර්ධන නිලධාරි හමුවන ලෙස අප පොල් වගාකරුවන්ගෙන් ඉල්ලා සිටින බව වසන්ත කුමාරසිරි මහතා පවසා සිටී. මෙම අවස්ථාව සඳහා එක් වූ ගම්පොළ උඩපලාත ප්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ද අදහස් දැක්වූ අතර, පොල් සංවර්ධන නිලධාරි එන්. විට්ටච්චි මහතා ඇතුළු ගොවි මහතුන් හා රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

ගම්පොළ සමූහ – සුරංග දිල්හාන්

Similar Posts