එළඹෙන ජනවාරි මාසයේ විදුලි ගාස්තු වැඩි නොකළහොත් පැය ගණනාවක විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන යෝජනාව ජනවාරි 02 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා,

“ජනවාරි මාසයේ 02 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න යෝජනා කරලා තියෙනවා. ක්‍රමවේද 20 ඇතුළේ අඛණ්ඩව ලබන අවුරුද්දේ විදුලිය ලබාදීම වෙනුවෙන් වියදම පමණක් සාමාන්‍යයෙන් ඒකකයක් රුපියල් 48.42ක් බවට පත්වෙයි කියලා තමයි උපකල්පනය කරන්නේ.

“අපි මේ ගාස්තු සංශෝධනයක්නොකර මේ කටයුකුත්ත සිදුකරන්න සිද්ධ වෙනවා නම් ආණ්ඩුව වෙත තියෙන විකල්ප ක්‍රමය තමයි එක්කෝ බදු වැඩිකරන්න වෙනවා. මේ මුදල පියවා ගැනීම සඳහා එහෙම නැතිනම් මුදල් මුද්‍රණය කරන්න සිදු වෙනවා. එහෙම නැතිනම් අපිට තවත් පැය කිහිපයකට විදුලි කප්පාදුව කරන්න වෙනවා.”

මාධ්‍යවේදියෙක් – “යෝජනා කරන ආකාරයට විදුලි මිල වැඩිකරන්න වුණොත් ජනවාරි සිටම පරිභෝගිකයන්ට ගෙවන්න වෙයිද ?”

අමාත්‍ය කංචන විජේසේකර – “ඔව්. ජනවාරි අවසානයේ සිට බිලට එකතු කිරීම සඳහා තමයි යෝජනා කරලා තියෙන්නේ.”

මේ අතර විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ ගාස්තු වැඩිවීම සියයට හැටක පමණ අගයක් ගනු ඇති බවය.

කෙසේවෙතත් පැය 8ක විදුලි කප්පාදුව පිළිබඳව ඇති අවදානම කිසිසේත් අඩුවී නැතැයි ද ඉංජිනේරු සංගමය පවසයි.

Similar Posts