එක්සත් ජනපද නාවික හමුදාව සහ මැරීන් බලකාය ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමගින් ඊයේ (19) කොළඹ දී Cooperation Afloat Readiness and Training (CARAT) / Marine Exercise (MAREX) අභ්‍යාසය ආරම්භ කර තිබෙනවා.

CARAT / MAREX Sri Lanka යනු කොළඹ දී සහ ත්‍රිකුණාමලයේ සහ මුල්ලිකුල්ලම් හි ශ්‍රී ලංකා නාවික හමුදාවේ කඳවුරුවල පැවැත්වෙන ඒකාබද්ධ, ද්විපාර්ශ්වික සමුද්‍ර අභ්‍යාසයක්.

එහි මුහුදු අදියර ලක්දිව මුහුදේ සිදුවෙනවා.

මෙම වසරේ අභ්‍යාසයට ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ සහ මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ සහභාගිවන්නන් ද ඇතුළත් බවයි කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසන්නේ.

එමෙන්ම, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ හවුල්කාරිත්වයේ 75 වන සංවත්සරයට සමගාමීවයි මෙය පැවැත්වෙන්නේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අණදෙන නිලධාරී වයිස් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සහ ඩිස්ට්රෝයර් ස්කොඩ්රනයේ (DESRON) නියෝජ්‍ය කොමදෝරු, කපිතාන් ශෝන් ලුවිස්ගේ මූලිකත්වයෙන් පැවති සමාරම්භක උත්සවයක් සමගින් මෙම අභ්‍යාසය ආරම්භ කෙරුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අක්වෙරළ මුර යාත්‍රා වන SLNS ගජබාහු (P 626) සහ SLNS විජයබාහු (P 627) යාත්‍රා, 13 වැනි සමුද්‍රීය ගවේෂණ ඒකකය (MEU) සහිත සැන් ඇන්ටෝනියෝ පන්තියේ උභයජීවී ප්‍රවාහන තටාකාංගන USS Anchorage (LPD 23) යාත්‍රාව මෙම අභ්‍යාසයේ දී මුහුදේ දී හමු වන බව මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසනවා.

මානුෂීය ආධාර සහ ආපදා සහන මෙන්ම ගුවන් ආරක්ෂාව, කුඩා බෝට්ටු මෙහෙයුම් සහ මුහුදේ දී නැවත පිරවීමේ ප්‍රවේශයන් පිළිබඳව මෙම පුහුණුව තුළ අවධානය යොමු කරනු ඇති බවයි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය වැඩිදුරටත් පැවසුවේ.

Similar Posts