හරක් කටා වෙනුවෙන් පෙනී සිටින ගමන් පොලිස්පති වෙනස් කරන්න උපදෙස් ලබාදෙන බව කියමින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඩීවී චානක මන්ත්‍රීවරයා නම නොකියා විවේචනයක් සිදු කළ නීතීඥවරයෙකු ගැන කථාබහක් මතුවිය. මේ අදහස් අතරේ ශ්‍රී ලංකා නීතීඥ සංගමේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මාධ්‍ය හමුවකට සහභාගී වී මෙසේ පැවසීය.

“අපි ජනාධිපතිතුමාට ලිව්වා නිකැලැල් පුද්ගලයෙක් පොළිස්පති ධූරයට පත් කරන්න කියලා. ඊට පස්සෙ තමයි මට ඇහුනේ පොලිස්පතිව තෝරන්නේ අහවල් සංවිධානාත්මක අපරාධකරුගෙ නීතිඥවරයද කියලා ව්‍යවස්ථාදායකය තුළ ප්‍රශ්න කෙරෙනවා. මේ රටේ පොලිස්පති ධූරයට පත් කරන්න ඕනේ නිකැලැල් පුද්ගලයෙක්.

අපේ රටේ ආයතනවල දුර්වලවීම තමයි මේ රටේ නීති ආධිපත්‍යට විශාල ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. විශේෂයෙනම් පොලිසිය හරහා මේ පනත්වල අවභාවිතය සිද්ද වෙන්නේ. මේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතත් විවිධ අවස්ථාවල අවභාවිතා කරලා තියෙනවා.

මම එක නඩුවක් කරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. ඒ කාන්තාව අවුරුදු 4ක් රිමාන්ඩ් භාරයේ හිටියා. චෝදනාව තමයි පොලිසියට තොරතුරු ලබා දුන්නෙ නැහැයි කියලා. ඒ පොලිසිය කරපු ප්‍රකාශය කියවගෙන යනකොට පේනවා ඒ කාන්තාව කියලා තියෙන්නේ අහවල් අහවල් අය එල්.ටී.ටී සංවිධානයට සම්බන්ධයි මම ඒ පිළිබඳව පොලිසියට දැනුම් දුන්නා. ඒ වුණාට ඒ කාන්තාව පොලිසියට අරගෙන. ඇයට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ චෝදනා මත ඩීඕ ගහලා, නීතිපතිවරයා මඟින් අධි චෝදනාවක් ගොනු කරලා තමයි නඩුව ඉවර කරන්නේ. ඒකට වගකියන්න ඕනෙ ඒ විවිධ ආයතන.

පොලිසියේ ක්‍රියාපටිපාටිය නිවැරදි කරන්නෙ නැතුව මම හිතන්නෙ නැ අපේ මේ නීතිය අවභාවිතා කරන එක නවත්වන්න පුළුවන් කියලා. දෙවැනි කාරණාව තමයි සමාජ ආකල්ප. 2009 ආරක්ෂක ආමාත්‍යංශේ වෙබ්සයිට් එකේ මේ රටේ ජ්‍යෙෂ්ඨතම නීතිවරු කීප දෙනෙක්ගේ ඡායාරූප දාලා ද්‍රෝහී නීතිඥවරු කියලා දාලා තිබුණා. මේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සමාජ සැකකරුවන් වෙනුවෙන් පෙනීහිටියා කියලා.

නීතිඥවරුන්ගේ කාර්‍යභාරය කියන්නේ නීතියට අනුව නඩු අහලා දඬුවම් කරන්න හෝ නිදහස් කරන එකයි. අපිට ඩීඅයිජී කෙනෙක්ට , එස්පී කෙනෙක්ට , පොලිස්පතිට ඉඩ දෙන්න පුළුවන්ද පුද්ගලයන්ගේ ජීවිත පිළිබදව තීරණය කරන්න. අහවලා ජීවත් වෙන්න ඕනේ අහවලා මැරෙන්න ඕනේ කියලා පොලිස් නිලධාරීන් අතට දෙන්න පුළුවන්ද?

එක කාලයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ද්‍රවිඩ සැකකරුවන්ට විරුද්ධව චෝදනා තියෙනකොට ඒ වෙනුවෙන් නීතිඥවරු පෙනී ඉන්න කොට, මාත් පෙනී ඉඳලා තියෙනවා. අපිව විවේචනය කරන්න පටන් ගත්තා, අපි ද්‍රෝහීන් කියලා.

මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ නීතියේ ක්‍රියාදාමය තියෙන්නෙ ඇයි කියලා.

අපි ගාවට සේවා දායකයෙක් ආවොත් සීමිත හේතූන් මත මිස අපිට ඒ සේවා දායකයගේ නඩුව ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඕනම ශිෂ්ඨසම්පන්න රටක පොලිසිය විසින් මරන්න අවසරයක් නැහැ. කට්ටියම ගෙනිහිල්ල එහෙනම් ගෝල්ෆේස් එකට ගිහිල්ලා මරන්න පුළුවන්. ඒකට ඉඩ දෙන්නෙ නැත්තේ ශිෂ්ඨසම්පන්න රටවල නීතියේ ආධිපත්‍ය තියෙන නිසා. ඔය සමාජ මාධ්‍යවල කතා කරන අය පවා ඒ අයට නඩු පැවරුනාමත් තේරුම් ගන්න වෙයි නීතිඥවරුන්ගේ කාර්‍යයභාරය මොනවද කියලා.

මම දැක්කා එක පොලිස් නිලධාරියෙක් කියනවා අපි පැමිණිල්ලේ කාරණාව විතරයි විභාග කරන්නේ. අපි විත්තිය කියන දේ විමර්ශනය කරන්නෙ නැහැයි කියලා. ඒක එහෙම වෙන්න බැහැ. ඒක පර්ශවික විමර්ශන කරලා සැකකරුවන්ව අත්අඩංගුවට ගන්නවා. 80 ගනං වල හෙක්ටර් කොබ්බෑකඩුව ජනාධිපති අපේක්ෂකයට නීතිපතිවරයා විසින් නඩු පැවරුවා ව්‍යාජ ලේඛනයක් මුද්‍රණය කරයි කියලා. පහුගිය කාලේ විටින් විටින් විට විධායකය විසින් අධිකරණයට බලපැම එල්ල කරන්න උත්සහ කරනවා. ඒක කවුරු ජනාධිපති වුණත් ඒ බලපෑම විටින් විට තියෙනවා. නමුත් අධිකරණයේ ස්වාධීනත්වය අපි ආරක්ෂා කරන්න ඕනේ.”

Similar Posts