ගස් කෝටි දාහක් සිටුවීමේ ව්‍යාපෘතියක් සඳහා ජීවානුහරණය කළ කොහු බත් මෙරටින් ලබා ගැනීමට සෞදි අරාබිය අපේක්ෂා කරයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සෞදි අරාබියේ නියෝජිත කණ්ඩායමක් මේ දිනවල මෙරට සංචාරයකට පැමිණි ඇත.

සෞදි අරාබියේ මෙම ඉල්ලුම මෙරට කොහුබත් වාර්ෂික නිෂ්පාදනය මෙන් දස ගුණයක් බව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, බලශක්ති හා ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ පැවසීය.

පසුගිය දා පැවැති මෙම ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙන අතර කොහුබත් ජීවානුහරණය කිරීමේ පහසුකම් ඇති එකම ආයතනය පරමාණුක බලශක්ති අධිකාරිය වීම ඊට හේතු වී තිබේ. කොහුබත් ජීවානුහරණය කිරීම සඳහා අධිකාරිය සතුව දැනට පවතින ධාරිතාව වැඩි කිරීමට අවශ්‍ය සහය ලබා දීමට සෞදි නියෝජිත පිරිස එකඟතාව පළකර තිබෙන බවත් සභාපතිවරයා කීවේය.

ගස් මෙතරම් ප්‍රමාණයක් සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරෙන්නේ සෞදි අරාබියේ ඉදි කෙරෙන නගරයක් වෙනුවෙනි. ඇමරිකානු ඩොලර් බිලියන පන්සියයක පමණ වැයක් දරන එහි ඉදිකිරීම් 2030 වසරේ අවසන් කිරීමට නියමිතය. නගරය ඉදි කෙරෙන කාලසීමාව පුරාම කොහුබත් සැපයීමට හැකියාව ලැබෙන බවත් මන්ත්‍රිවරයා කීවේය.

Similar Posts