three-wheeler thief
සොරාගත් ත්‍රීරෝද රථයකින් පැමිණ මහා මාර්ගයේ ගමන්ගත් හෙදියක් ඇතුළු කාන්තාවන් දහතුන් දෙනෙකුගේ අත් බෑග් මං පැහැරගත්  පුද්ගලයෙකු  බොරලැස්ගමුව පොලිස් වසමේ රත්තනපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
ඉකුත් ජනවාරි (29) වන දින උදෑසන බොරලැස්ගමුව, ජී.එච් පෙරේරා මාවතේ පදිංචිකාරිනියක් වන දකුණු කොළඹ ශීක්ෂණ රෝහලට අනුයුක්තව සේවය කරන හෙදියක් සේවයට යමින් සිටියදී එම මාර්ගයේම ත්‍රීරෝද රථයකින් පැමිණෙන පුද්ගලයෙක් ඇයගේ අත් බෑගය උදුරා ගැනීමට යාමේදී අත්බෑගය තම උරහිසේ පැටලී ත්‍රිරෝද රථය දෙසට වැටීමත් සමඟ ත්‍රීරෝද රථයේ පිටුපස රෝදය ඇයගේ හිස මතින් ගොස් තුවාල සිදුවීමේ සිද්ධියක් බොරලැස්ගමුව පොලීසියට වාර්තා වීමත් සමග මාර්ගය ආසන්නයේ නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරාවක මෙම සිදුවීම සටහන්වී තිබූ බවත් ඒ අනුව විමර්ශන ආරම්භ කළ පොලිස් නිලධාරීන් ත්‍රී රෝද රථයේ අංකය අනුව පරීක්ෂණ සිදුකර සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.
සැකකරු මහා මාර්ගයේදී අහම්බෙන් හඳුනාගත් කාන්තාවක් සමග කතරගමට ගොස් දේවාලය වැඳපුදාගෙන පැමිණෙන විට තිස්සමහාරාම ප්‍රදේශයේ සිටින මිතුරෙකුගේ නිවසට ගොස් එහි පැය කීපයක් ගත කර නැවත කොළඹට පැමිණීමට සූදානම්ව ඉකුත් ජනවාරි (21) දින උදෑසන  6.30 ට පමණ  හම්බන්තොට නව රෝහල ඉදිරිපිටට පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී සූරියවැව, බැදි ගංතොට ප්‍රදේශයේ සිට දරු ප්‍රසූතියක් සඳහා බිරිඳ හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමට රැගෙන ආ පුද්ගලයෙකුගේ තිරෝද රථය සැකකරු විසින් සොරාගෙන කොළඹට ගමන් කර ඇති බවට කරුණු අනාවරණය කරගත් බවද පොලීසිය පැවසීය.
එලෙස ත්‍රිරෝද රථයෙන් කොළඹට ගමන් කරන අවස්ථාවේදී අම්බලන්ගොඩ ප්‍රදේශයේ දී ප්‍රදේශයේදී ත්‍රිරෝද රථය ඉන්ධන නොමැතිව නැවතී ඇති බවත් සැකකරු ත්‍රීරෝද රථයේ අමතර රෝදය එම නගරයේ පිහිටි ඉන්ධන පිරවු හලක සේවකයෙකුට ලබාදී රුපියල් 800ක මුදලකට සරිලන සේ ඉන්ධන ලබාගෙන ගල්කිස්ස ප්‍රදේශයට පැමිණ ඇති බවත් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වූ බවද පොලිසිය පැවැසීය.
(23) වැනි වියේ පසුවන සැකකරු රත්මලාන, කටුකුරුන්ද පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් සොරා ගෙන ආ ත්‍රිරෝද රථයේ ආදායම් බලපත්‍ර හා රක්ෂණ සහතික තිබූ බැවින් ගල්කිස්ස හා රත්මලාන ප්‍රදේශයේ කුලී ගමන් සඳහා යොදවා එයින් ලැබෙන මුදලින් මත්කුඩු පානය කර ඇති බවත් දිනකට රුපියල් 7000/=ක පමණ මත්කුඩු පානය කර ඇති අතර ත්‍රීරෝද රථයෙන් ලැබෙන ආදායම මත් කුඩු සඳහා ප්‍රමාණවත් නොවන බැවින් මහාමාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන්ගේ අත් බෑග් මං පහර ගැනීමට පුරුදු පුහුණු වී ඇති බවද පොලිසිය විසින් අනාවරණය කරගත් බව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත්වූ සැකකරුට රිය පැදවීමට රියදුරු බලපත්‍රයක් නොමැති බවත් හම්බන්තොට ප්‍රදේශයේ සිට ගල්කිස්ස ප්‍රදේශයට සොරකම් කරන ලද ත්‍රීරෝද රථය රැගෙන ඒමේ දී කිසිදු නගරයකදී පොලිස් නිලධාරීන්ගේ  පරීක්ෂාවට ලක් නොවී ඇති බවද සැකකරු පොලිසියට සිදුකළ ප්‍රකාශයේ සඳහන් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු මහරගම ප්‍රදේශයේ මං පැහැරගැනීම් 04, කොහුවල පොලිස් වසමේ මං පැහැරගැනීම් තුනක්, පිළියන්දල පොලිස් වසමේ 02 සහ බොරලැස්ගමුව පොලිස් වසමේ මං පැහැරගැනීම් 03 සිදුකර ඇති බවට මූලික විමර්ශනයේදී අනාවරණයවූ බවත්  සොරකම් කරන ලද ත්‍රීරෝද රථයේ වටිනාකම රුපියල් ලක්ෂ නවයකට ආසන්න බවද පොලීසිය පැවසීය.
පැහැර ගත් භාණ්ඩ අතර කාන්තා අත්බෑග්, ජංගම දුරකථන, කාන්තා කුඩ, විවිධ හැඩයේ කුඩා රන් කරාබු කිහිපයක් තිබී සොයා ගත් බවත් පොලිසිය පැවසීය.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ රටාව හා කාලය පිළිබඳව අධ්‍යයනය කර ලබාගත් තොරතුරු අනුව පොලිස් නිලධාරී කණ්ඩායම් කිහිපයක් යොදවා විමර්ශන  සිදුකළ බවත් සැකකරු අත්අඩංගුවට ගැනීමට සිදුකළ මෙහෙයුමේදී පොලිස් නිලධාරීන් හා නිවැසියන් විසින් මහත් පරිශ්‍රමයක් දැරූ බවත් පොලිසිය පවසයි.
සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර පළාත දකුණ  භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක, නුගේගොඩ කොට්ඨාස 01 බාර පොලිස් අධිකාරි කේ.එස් රූපසිංහ යන මහත්වරුන් ගේ පූර්ණ අධීක්ෂණය මත බොරලැස්ගමුව පොලිස් ස්ථානය ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී විජේරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජනිත මධුසංඛ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක එම්.කේ බණ්ඩාර, පොලිස් සැරයන් 36763 සමන්, 40010 වනසිංහ, පොලිස් කොස්තාපල් 51857 විපුල, 68832 අමරසිංහ, 72795 ලක්මාල්, 92527 ප්‍රසාද්, 93482 දිල්රුවන් යන නිලධාරීන් විසින් පවත්වනු ලබයි.
සමීර  අබේසිංහ – බොරලැස්ගමුව

Similar Posts