හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී දිනය අදයි.

විෂ්ණු දෙවිදුන් නරගාසුරන් නමැති අසුරයා පරාජය කිරීම සිහිපත් කරමින් හින්දු බැතිමතුන් දීපාවලී සමරයි.

තමන් ආලෝකය ලබා ගත් අයුරින් ලොව සියලු දෙනාට ද ආලෝකය දැකීමට ඉඩ සලසන්නැයි පරාජයට පත් නරගාසුරන් අසුරයා විෂ්ණු දෙවිදුන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වේද සාහිත්‍යයේ සඳහන්.

හින්දු බැතිමතුන් මෙම දිනය සිහිපත් කර පහන් දල්වා ආගමික වතාවත්වල නිරත වන්නේ , ඒ ආලෝකය පරිද්දෙන් සියල්ලන්ගේ සිත් සතන් තුළ ආලෝකය පැතිරේවා යන ඒකායන ප්‍රාර්ථනය පෙරදැරිවයි.

අධර්මය පරදවා ධර්මය ජය ගැනීම සංකේතවත් කරමින් පහන් මාලාවක් දැල්වීම ද දීපාවලී දිනයේ තවත් චාරිත්‍රයකි.

මියගිය ඥාතීන් සිහිපත් කරමින් කෝවිල්වලට ගොස් ගිතෙල් පහන් දල්වන හින්දු බැතිමතුන් රස කැවිලි අනුභව කරමින් මෙම දිනය සතුටින් සමරයි.

දීපාවලී දිනයේ හින්දු බැතිමතුන්ගේ ප්‍රාර්ථනය ධර්මය රජයන සෞභාග්‍යවත් අනාගතයක් ය.

මේ අතර මුහුණ දී සිටින කොරෝනා තත්ත්වය හමුවේ මේ මොහොතේ ආගමික වතාවත්වල නිරතවීම මිනිස් හදවත් තුළට සැනසිල්ලක් බව ද ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දී තිබේ.

දීපවාලි උත්සවයත් අපේක්ෂාවන්ගෙන් පිරි පහනෙහි අලෝකයත් ප්‍රජාවන් අතර සමගිය හා සහජීවනය ඇති කිරීමට අවස්ථාව සලසන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දීපවාලි සුභ පැතුම් පණිවුඩයේ සඳහන් ය.

අඳුරු මාර්ගයක ඇති පහන් කණුව එම මාර්ගයට මග පෙන්වන ලෙසින් මිනිස් ජීවිතයේ මාවතට කරුණාවේ පහන සහය වේ නම් , එය මිනිස් ජීවිත සමෘද්ධිමත් කරන බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ය.

දීපවාලි වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, වර්තමානයේ ලොව පුරා කොරෝනා උවදුර නැමැති නපුර පරාජය කිරීම උදෙසා මෙම උතුම් දිනයේ ප්‍රාර්ථනා කිරීමට එක්වන ලෙසයි.

සංහිඳියාවේ අපේක්ෂා පෙරදැරිව වාර්ගික සංහිදියාවත් අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති කිරීමෙහිලා දීපවාලි උත්සවය පිටුවහලක් වන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Similar Posts