eggs

පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඉදිරිපත් කරන ලද බිත්තර සඳහා වූ නව සංශෝධිත මිල ගණන් සම්බන්ධයෙන් එකගවිය නොහැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. ඒ, අදාළ නඩුව ප්‍රසන්ත ද සිල්වා සහ ඛේමා ස්වර්ණාධිපතිගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී පාරිභෝගික සේවා අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ  පාරිභෝගික සේවා කවුන්සිලය විසින් සුදු බිත්තරයක් සඳහා රුපියල් 42 ක්, රතු බිත්තරයක් සඳහා රුපියල් 44ක උපරිම සිල්ලර මිල නියම කිරීමට තීරණය කළ බවයි.

එම අවස්ථාවේදී බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම මිල ගණන්වලට තම සේවාදායකයින් එකග නොවන බව දැනුම් දුන්නා.

මීට පෙර නිකුත් කළ ගැසට් නිවේදනය තිබෙන පාලන මිළ ගණන්වලට වඩා නව මිල ගණන් අඩු මට්ටමක පවතින බවත් එය කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මෙම පෙත්සම විභාගයට ගැනීමට නියම කරන මෙන් ඉල්ලා සිටියා. එම ඉල්ලීම පිළිගත් අභියාචනාධිකරණය මෙම නඩුව පෙබරවාරි මස 06 වන දා විභාගයට ගැනීමට තීරණය කළා.

එමෙන්ම බිත්තර සඳහා පාලන මිලක් නියම කරමින් ඉකුත් අගෝස්තු 19 වනදා පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය නඩු විභාගය අවසන් වන තෙක් අත්හිටුවමින් අතුරු නියෝගයක් ද අධිකරණය විසින් නිකුත් කරනු ලැබුවා.

Similar Posts