glucometers

රුපියල් කෝටි 38ක් ගෙවා ප්‍රමිතියෙන් තොර ග්ලූකෝමීටර් තොගයක් මිල දී ගැනීමේ ටෙන්ඩරයක ලියකියවිලිවලට අත්සන් කිරීම ප්‍රතික්‍ෂේප කළ බව කියන සෞඛ්‍ය අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්‍ෂවරියක වෙනත් අංශයකට මාරුකර ඇතැයි වාර්තාවේ.

නියමිත ටෙන්ඩර් පරිපාටියෙන් බැහැරව සහ ප්‍රමිතියෙන් තොර ග්ලූකෝමීටර් තොගයක් ඉන්දියානු සමාගමකින් මිල දී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කඩිමුඩියේ කටයුතු කරන අතර අදාළ නිලධාරිනිය එම ලියකියවිලිවලට අත්සන්කර අනුමැතිය නොදීම නිසා වෙනත් අංශයකට මාරුකර ඇතැයි ද ඒ වෙනුවට වෙනත් නිලධාරියකු අනුයක්ත කර අවශ්‍ය ලේඛන අත්සන් කර ගැනීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කරමින් සිටින්නේ යැයි වාර්තා වේ.

සෞඛ්‍ය අංශයට අයත් ඉහළ නිලධාරීන් තිදෙනෙකු එක්ව මෙම දූෂිත ටෙන්ඩරය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරන අතර ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ සහයත් හිමි වන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග කියයි විවෘත ටෙන්ඩරයක් මගින් ප්‍රමිතියෙන් තොර සහ සාධාරණ මිල ගණන්වලට ග්ලූකෝමිටර් තොගයක් ලබන ජනවාරි මාසයේ දී සැපයීමට එකගතාව පළකර තිබිය දී වැඩි මිලකට ග්ලූකෝමීටර තොගයක් හදිසියේ ලබාගැනීමේ ගනුදෙනුව හරහා බරපතළ සැකයක් මතුව ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචිමාර්ග කියයි.

විවෘත ටෙන්ඩරය මගින් ග්ලූකෝමීටරයක් රුපියල් 12ත් 32ත් අතර මිලකට සැපයීමට සැපයුම්කරුවන් 5 දෙනකු ඉදිරිපත්ව සිටිය දී ඉන්දියානු සමාගමකින් ග්ලූකෝමීටරයක් රුපියල් 37කට ලබා ගැනීමට සෞඛ්‍ය නිලධාරීන් උත්සාහ ගන්නා බව ද එම ආරංචිමාර්ග පවසයි. මෙම ග්ලුකෝමීටරවල නිසි ප්‍රමිතියක් නොමැති අතර ඉන් ලබාදෙන දත්ත වැරදීමේ ඉඩකඩ බොහෝ ඇතැයි ද පවසන සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිරිසක් සඳහන් කරන්නේ අත යට මුදල් ගනුදෙනුවක් මෙම මිලදී ගැනීම හරහා සිදුවන බවට බරපතළ සැකයක් මතුව තිබෙන බවය.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ග්ලුකෝමීටර ලබාගැනීමට ටෙන්ඩර් කැඳවීම නිසා ඊට ඉදිරිපත් විය හැකි ඉන්දියානු සමාගමකට පමණක් බව ද එම නිසා වෙනත් සමාගම් එම ටෙන්ඩරයට ඉදිරිපත් නොවූ බව ද පැවසේ. කෙසේ වෙතත් මේ වනවිට ඉන්දියානු ණය ක්‍රමය මගින් ග්ලුකෝමීටර ගන්නවා වෙනුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රුපියල් කෝටි 38ක් ගෙවා වංචා සහගත ලෙස ඉන්දියානු සමාගමකින් ඒවා ගැනීම පිළිබඳව නීති ක්‍රියාමාර්ග ගන්නා බව ද අනෙක් සැපයුම්කරුවෝ පවසති.

රන්ජන් කස්තුරි

Similar Posts