තරුණයින්ට යුද පුහුණුවක්ද? හමුදා පුහුණුවක්ද?

sarath

තරුණ පරපුරට නීතිය කියන්නෙ කුමක්ද, නීතිය කැඩූ විට දෙන දඩුවම් මොනවාද කියා පහදා දෙන්න ඕනෙ. ඒ වගේම හොඳ නායකත්වයකින් ක්‍රියා කිරීම හොඳ පෞරුෂත්වයකින් ක්‍රියා කිරීමට ඔවුන් හැඩ ගැස්විය යුතුයි.

විවිධ පාර්ශ්වයන්ගෙන් මානව හිමිකම් පිළිබඳ චෝදනා යළිත් එල්ල වෙනවා.ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියත් අපට චෝදනා කරනවා.?

මානව හිමිකම් කවුන්සිලයෙන් ලොකු වාර්තාවක් එවල තිබෙනවා. එම සෑම චෝදනාවකටම එහෙම නැත්නම් අපට විරුද්ධව තිබෙන සෑම කරුණකටම අප පැහැදිලි ලිපියක් යැව්වා. අදාළ චෝදනාවලට පිළිතුරු දීමට කමිටුවක් තිබෙනවා. මාත් එහි සිටිනවා. එම කමිටුව සාකච්ඡා කර වාර්තාව සකස් කළා.

තරුණයන් යුද පුහුණුවක් ලබාදීම සම්බන්ධයෙන් ඔබ කළ ප්‍රකාශයක් මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක් වෙමින් තිබෙනවා නේද?

යුද පුහුණුවක් ගැන නොවෙයි මම ප්‍රකාශ කළේ. හමුදා පුහුණුවක් පිළිබඳවයි කතා කළේ. එවැනි පුහුණුවක් ලබා දීමට අවශ්‍ය පහසුකම් තිබෙන්නෙ හමුදාව තුළ පමණයි. එවැන්නක් තමයි හමුදා පුහුණුවක් ලෙස මා අදහස් කළේ.

එයින් මා තරුණයින්ව සොල්ලාදුවන් බවට පත් කිරීමක් ගැන අදහස් කරන්නෙ නැහැ. තරුණ පිරිසට විනය පිළිබඳව කියා දෙන්න ඕනෙ. හික්මීම පිළිබඳව කියා දෙන්න ඕනෙ. ඉවසීම පිළිබඳව කියා දෙන්න ඕනෙ. මාර්ග නීති උල්ලංඝනය කිරීම නිසා මහා මාර්ග වල මිය යන සංඛ්‍යාව දෙස බලන්න.

මෙවැනි කරුණු කාරණා නිසා තරුණ පරපුරට නීතිය කියන්නෙ කුමක්ද, නීතිය කැඩූ විට දෙන දඩුවම් මොනවාද කියා පහදා දෙන්න ඕනෙ. ඒ වගේම හොඳ නායකත්වයකින් ක්‍රියා කිරීම හොඳ පෞරුෂත්වයකින් ක්‍රියා කිරීමට ඔවුන් හැඩ ගැස්විය යුතුයි. රට පිළිබඳව හැඟීමෙන් ක්‍රියා කරන තරුණ පරපුරක් නිර්මාණය කරන්න ඕනෙ.

යහ පාලන රජය විසින් පාවාදුන් රට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නැවත ශක්තිමත් රටක් බවට පත් කරමින් තිබෙන බව ඔබ පසුගියදා ප්‍රකාශ කර තිබුණා.

මානව හිමිකම් කවුන්සිලයේදී එදා මොකද වුණේ. හම්බන්තොට වරාය පාවා දුන්නා. මත්තල ගුවන් තොටුපොළට යහ පාලනය මොකද කළේ. ඔවුන් ආර්ථික ගැටලු ඇති කළා. එවැනි රටක් තමයි ජනාධිපතිවරයා ඉදිරියට ගන්න යන්නෙ.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කොහොමද ඉදිරියට ක්‍රියා කරන්නෙ?

මත්ද්‍රව්‍ය මැඬලීමේ වැඩ සටහන අප කොටස් තුනකින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනවා. පළමුව භෞතිකව රට තුළට ගෙනෙන මත්ද්‍රව්‍ය නැවැත්විය යුතුයි. ඒකට ඉන්දියන් සාගරයේ නෞකා විවිධ ස්ථානයන්හි යොදවනවා.දෙවනුව මත්ද්‍රව්‍ය වලට තිබෙන ඉල්ලුම අඩු කිරීමට ක්‍රියා කරනවා. ඒ සඳහා සෑම පාසැලකම කමිටු පත් කරනවා. ඒ තුළින් මත්ද්‍රව්‍යවල භයානකත්වය පිළිබඳව දරු පරපුරට කියා දෙනවා. ජාත්‍යන්තර පාසැල්වලත් මෙය ක්‍රියාත්මක කරනවා. තුන්වනුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ව පුනරුත්තාපනයට කටයුතු යොදනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ජාවාරම්කාරයන්ට සහ තැරව් කරුවන්ට දැඩි දඩුවම් දෙනවා.

අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ප්‍රසිද්ධියේ විනාශකර දැමූ අවස්ථා තිබෙනවා. ඒත් අත් අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව රටේ ජනතාවට ගැටලු පවතිනවා.

ඒ පිළිබඳව මා අධිකරණ ඇමැතිතුමා හමුවුණා. අග්‍ර විනිස්චයකාරතුමා හමුවුණා. නීතිපතිතුමා හමුවුණා.ඔවුන් සමඟ මත්ද්‍රව්‍ය විනාශ කිරීම පිළිබඳව කතා බහ කළා. මත්ද්‍රව්‍ය තොගයක් අල්ලා ගත් පසු ඒ පිළිබඳව රස පරීක්ෂක වාර්තා එනතුරු ඒවා තබා ගන්නවා. ඉන් පසුව තවත් ක්‍රියාවලීන් රැසක් සිදුවනවා.මේ සඳහා යම් කාලයක් ගත වෙනවා. එවැනි තත්ත්වයක් ගැටලු සහගතයි. මත් ද්‍රව්‍ය සොරකම්ද සිදුවිය හැකියි.

මම යෝජනා කරන්නෙ විශාල මත්ද්‍රව්‍ය තොගයක් අල්ලා ගත් සැනින් අප ඒවායේ සාම්පලයක් පමණක් තබා ගෙන මත්ද්‍රව්‍ය තොග ජනතාව ඉදිරියේ විනාශ කළ යුතු බව. ඒ සඳහා නීතිමය ප්‍රතිපාදන අවශ්‍යයි. ඒවා ගෙන ආ යුතුයි.

පාතාලය මට්ටු කරනවාද?

ඔව්. පාතාලයට අවශ්‍ය නම් ඔවුන්ගේ අවි ආයුද අපට භාරදිය හැකියි. ආරක්ෂක අංශයට භාරවිය හැකියි. පාතාල ක්‍රියාකාරකම් විවිධාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. පාතාලයේ බොහෝ ක්‍රියාකාරකම් අප හදුනාගෙන බොහෝ අපරාධවලට අයත් පුද්ගලයින්ව කොටු කරගෙන තිබෙනවා. මොවුන් සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

ඇයි අපට පාතාල ක්‍රියාකාරකම් නැවැත්වීමට බැරි. ලෝකයේ පැවැති භයානක ත්‍රස්තවාදී කණ්ඩායමක් අප විනාශ කළා. පාතාලය නැති කරන එක අපට මහ කජ්ජක් නොවේ.

අපේ රටට එරෙහිව ජාත්‍යන්තරයේ මෙන්ම රට තුළත් විවිධ කුමන්ත්‍රණ පවතිනවා. මේවාට මුහුණ දීමේදී ජාත්‍යන්තර ක්‍රියාකාරකම් මෙන්ම බුද්ධි අංශ ද ඉතා වැදගත් නේද?

අපට හොඳ බුද්ධි අංශයක් තිබෙනවා. ජාතික, රාජ්‍ය, යුද, නාවික, ගුවන් හමුදාවල සහ පොලීසියේ බුද්ධි අංශ ක්‍රියාත්මක වෙනවා. මේ සියල්ල එකතු වී ක්‍රියා කරනවා. පසුගිය යහපාලනයේ දී බුද්ධි අංශ අවුල් කළ නිසා විශාල ගැටලු ඇති වුණා.

රටේ යහපත් ගමන වැළැක්වීමට ජාත්‍යන්තර බුද්ධි අංශ සාමාජිකයින් අපේ රට තුළත් ක්‍රියාත්මක වන බව පැවසෙනවා නේද. ?

එවැනි කරුණු කාරණා අපේ බුද්ධි අංශ විසින් සොයා ගත යුතුයි. අපේ රට තුළ ජාත්‍යන්තරයේ විවිධ කොටස් ක්‍රියාත්මක වනවාද යන්න පිළිබඳව අපි ඇස් කන් ඇරගෙන සිටිය යුතුයි. ඒ පිළිබඳව විමසිල්ලෙන් අප සිටිනවා.

රටක ශක්තිමත් ඉදිරි ගමනට හොඳ ඔත්තු සේවාවක්, බුද්ධි අංශයක් තිබිය යුතුයි. ඇමරිකාව, රුසියාව, ඊශ්‍රායලය, පාකිස්ථානය, චීනය, ඉන්දියාව වැනි රටවල ප්‍රබල ඔත්තු සේවාවන් ක්‍රියාත්මක වනවා. අපටත් එවැනි තත්ත්වයකට ලංවීමට නොහැකිද?

එය අපට අනිවාර්යයෙන් කරන්න පුළුවන්. අපේ රටට ඉතා වටිනා ඉතිහාසයක් තිබෙනවා. මේ රටේ හොඳ විශ්වකර්ම වැඩ කරන ජනතාවක් ජීවත් වුණා. බුද්ධිමතුන් මේ රටේ ජීවත් වෙනවා. අවුරුදු දහස් ගණනක ඉතිහාසය දෙස බැලීමේදී අපට එවැන්නක් කරන්න පුලුවන්. දක්ෂයින්ට ඉදිරියට ඒමට ඉඩ දෙන්න ඕනෙ.

උතුරු නැඟෙනහිර ප්‍රදේශවලින් විවිධ කොල්ලකෑම් වාර්තා වෙනවා.ඒ ප්‍රදේශවල පොලීසියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කිව හැක්කේ කුමක්ද.?

මෙම ප්‍රදේශවල ඇති වන එවැනි දේ නැවැත්වීමට අප සිවිල් ආරක්ෂක කමිටු හදනවා. සෑම පළාතකම මේවා ක්‍රියාත්මක කරනවා. මේ සඳහා විශ්‍රාම ගිය පුද්ගලයින්, තරුණ සමිතිවල සාමාජිකයින් සම්බන්ධ කරගන්නවා. එවිට ගමේ සිදුවන වැරදි ක්‍රියා පිළිබඳව, ගමේ සිටින කුඩු කාරයා කවුද යන්න පිළිබඳව ගමේ සිටින කමිටු සාමාජිකයා දැනුවත්.

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා ඕනෑම පුද්ගලයෙකුට කිසිදු අනතුරක් නොමැතිව නිදහසේ යා හැකි රටක් සෑදීමට පොලීසිය භාර ඇමැතිවරයා වශයෙන් ඔබ ක්‍රියා කිරීමට සූදානම්ද?

ඔව්.

අපි උදේට, රෑට පිරිත් අහන, බණ අහන ජාතියක්. දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා නිදහසේ යා හැකි රටක් අපට ඇයි නිර්මාණය කරන්න බැරි. මේ රටේ අතීතයේ එවැනි තත්ත්වයන් පැවැතියා. ඒ සඳහා මම කිවූ හමුදා පුහුණුව වැදගත් වෙනවා. මිනිසුන්ට සදාචාරය කියන එක , කතාබහ කරන ආකාරය ඉගැන්විය යුතුයි.

මහරගම, පමුණුව ප්‍රදේශයේ පසුගියදාක ඇති වූ ප්‍රශ්කාරී තත්ත්වයකට ඔබේ නමක් සම්බන්ධ වුණා නේද?

ඒක සම්පූර්ණයෙන් වැරදි මතයක්. මෙම ප්‍රදේශයේ අවුරුදු ගනනාවක් තිස්සේ පාරම්පරික වෙළදුන් සිටිනවා. අලුතෙන් පිරිසක්ද පැමිණියා. මේ දෙගොල් අතර ඝට්ටනයක් ඇති වුණා. මම අලුත් වෙළඳුන් පිළිබඳව නගරාධිපතිගෙන් ඇසුවා. අවසර දුන්නේ නැති බව ප්‍රකාශ කළ නිසා අප අලුත් වෙළඳුන්ට නගරාධිපතිගෙන් අවසරයක් රැගෙන එන ලෙස දැනුම් දුන්නා. එම අවසරය රැගෙන එනතුරු අදාළ ස්ථානයන්ට පැමිණිය නොහැකි බව කීවා. කවුරුවත් එලවන්න ගියේ නැහැ.

විප්ලවයකින්, යුද්ධයකින් පසු සාහිත්‍ය නිර්මාණ බිහිවෙනවා. අපේ රටේ එවැන්නක අඩුවක් තිබෙනවා නේද?

යුද සාහිත්‍යයක් පෙරට පැමිණියේ නැහැ. නිර්මාණ දෙක තුනක් බිහි වුණා. මමත් චිත්‍රපටයක් නිර්මාණය කළා. මෙවැනි සාහිත්‍යයක් බිහි කිරීමට රටට ආදරය කරන පිරිස් ක්‍රියා කරන්න ඕනෙ. කලා කරුවො කරන්න ඕනෙ රටට අහිතකර කලා නිර්මාණ නොවේ. රටේ කලාකරුවන්ද දේශප්‍රේමී විය යුතුයි. ඉන්දියාවේ එවැනි සාහිත්‍යාංගයන් කොතරම් බිහි වී තිබෙනවාද?

පළාත් සභා ක්‍රමයට ඔබ විරුද්ධයි නේද?

ඔව්.

ඉන්දියාව බලෙන් පැටවු පළාත් සභාවට මම එදත් අදත් හෙටත් විරුද්ධයි.

සමගි ජන බලවේගය වත්මන් රජයට අභියෝගයක් වෙයිද?

කිසිම අභියෝගයක් වෙන්නෙ නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ අනාගතය කොහොම වෙයිද?

ඔවුන්ට එක අසුනයිනෙ තිබෙන්නෙ. මම හිතන්නෙ නැහැ එක්සත් ජාතික පක්ෂය ආයෙ නැගිටියි කියා.

ඔබ ජාතිවාදියෙක් නේද?

– මම ජාතිවාදී වෙලා නැහැ. ජාතිවාදියෙක් නම් මම දෙමළ මිනිසුන්ට මගෙ ලේ දෙන්නෙ නැහැනේ.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මේ වනවිට ඇති වෙලා. ඒ සම්බන්ධව ඔබේ මතය කුමක්ද?

මේ පිළිබඳව ජනාධිපතිතුමා පැහැදිලි ප්‍රකාශයක් කර තිබෙනවා. රටේ සම්පත් විකුණන්නේ නැහැ කීවා. දැන් ආයෝජනය කිරීම පිළිබඳව කථිකාවක් ඇති වෙලා. ඒ පිළිබඳවත් අදාළ පුද්ගලයින් සමඟ සාකච්ඡා කර ජනාධිපතිතුමා හරි තීරණයක් ගනීවි.

ආරක්ෂා කළ යුතු රටේ ඇතැම් ස්ථානවලට සිවිල් ආරක්ෂක බළකාය යෙදවිය යුතු බව ඔබ අදහස් කරනවා. මෙය ප්‍රභූ ආරක්ෂාවටත් බලපානවාද?

යම් යම් ස්ථානවල ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරීන් වෙනුවට අපට සිවිල් ආරක්ෂක නිලධාරින් ඒ ස්ථානවලට යොදවන්න පුළුවන්.

එවිට පොලිස් දෙපාර්තමේන්තුවට අදාළ පොලිස් නිලධාරීන් තවත් කාර්යයක් සඳහා යොදා ගත හැකියි. ප්‍රභූ ආරක්ෂාවේ ගැටලුවක් ඇතිවෙයි කියා ඇතැමුන් වලිගපාගාගෙන යම් යම් ප්‍රකාශ කරනවා.

පොලිස් නිලධාරීන්ගේ අඩුවක් පවතිනවා.

ඇමැති රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

dinamina

Related posts