ලිහිණියගල ලෙන් විහාරයේ සිතුවම් සහ පෞරාණික අංග විනාශ මුඛයේ – බලධාරීන් නිහඩයි

කොතෙකුත් බලධාරීන්ගේ අවධානය යොමු කළත් නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් හඟුරන්කෙත, ලිහිණියගල ලෙන් විහාරයේ සිතුවම් සහ පෞරාණික අංග විනාශ වීමේ දැඩි අවදානමක් ඇතැයි එහි විහාරාධිපති හිමියන් පවසති.
මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය සහ ආදිවාසීන්ගේ සබඳකම් සහිත බව ලිඛිත සාක්ෂි ඔස්සේ තහවුරු කර ඇති මෙම විහාරස්ථානය පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානයක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නම් කර ඇති නමුත් එය සංරක්ෂණය කිරීම කෙරෙහි කිසිදු අවධානයක් යොමු වී නැතැයි  ඓතිහාසික ලිහිණියගල රජ මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය හප්පාවර වජිරඥාන හිමියන් කියති.
යුග ගණනාවක ඓතිහාසික තොරතුරු සුරක්ෂිතව ඇති විහාරස්ථානයක් වශයෙන් මෙම විහාරස්ථානය හැඳින්විය හැකිය.
ප්‍රාග් ඓතිහාසික යුගයේ දී මෙරට විසූ ආදි මානවයන් විසින් අදින ලද චිත්‍ර කිහිපයකින් මෙම විහාරස්ථානය සමන්විතය. විහාරස්ථානයේ සතු ලෙන් ගුහා තුනක් ඇති අතර ඉන් එකක මෙම සිතුවම් දැකිය හැකිය. මධ්‍යම පළාතේ ආදිවාසී සිතුවම් ඇති එකම විහාරස්ථානය මෙය බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කොට තිබේ.
පූර්ව ඓතිහාසික යුගයට අයත් මනප දසන යන වැකිය සහිත සෙල්ලිපිය හේතුවෙන් මෙම විහාරස්ථානය මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනය හා සම්බන්ධ බව මේ වන විට තහවුරු කරගෙන තිබේ.  මහනුවර යුගයේදී  සස ජාතකය, වෙස්සන්තර ජාතකය,  දහම් සොඬ ජාතකය  ආදී  කතා ගණනාවක අංග  මෙම විහාරස්ථානයේ සිතුවම් කොට තිබේ.
අනුරාධපුර යුගයේ දී ද මෙම විහාරස්ථානය ආගමික මධ්‍යස්ථානයක් වශයෙන්  ක්‍රියාත්මක වුණු බවට සාධක අදටත් දැකිය හැකිය.  පසු කාලීනව විහාරස්ථානයේ බුදු මැදුර කුඩා කොට සකස් කිරීම තුළින් පැරණි සිතුවම් කිහිපයක් විද්‍යාමාන වී ඇති අතර ඒ තුළින් මහනුවර යුගයේ පැරණි සිතුවම් කිහිපයක් හදුනාගෙන තිබේ.
අනුරාධපුර යුගයෙන් පසුව ජරාවාස තත්ත්වයට පත්ව ඇති විහාරස්ථානය පසු කාලීනව මහනුවර යුගයේදී යළි ප්‍රතිසංස්කරණය කොට දියුණු වූ විහාරස්ථානයක් බවට පත්ව තිබුණු බව  විහාරාධිපති හිමියන් කියති.
විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල අසල සිට ලෙන් ගුහා දෙසට දිවෙන කළුගල් පියගැටපෙළ මේ වන විට විනාශ වෙමින් පවතින අතර අතීතයේදී එය මනාව ක්‍රමවත් අයුරින් පැවති බව විශ්වාස කළ හැකි යැයි ද විහාරාධිපති හිමියන් කීහ.
වසර දෙසීයක් පමණ පැරණි දෙමහල් සංඝාවාසය ගොඩනැගිල්ල අදටත් විද්‍යාමාන වන නමුත් එය විනාශ වී ඇද වැටීමේ අවදානමක ට පත් ව ඇත. දැඩි ලෙස අබලන් තත්ත්වයට පත්ව ඇති මෙම සංඝාවාස ගොඩනැගිල්ල ට මේ වන විට කිසිවකු ප්‍රවේශ නොවන බවත් එහි ඉහල මහලට නැගීම අතිශය අනතුරුදායක තත්වයට පත්ව ඇතැයි විහාරාධිපති හිමියන් කීවේ ය.
ආදිවාසී සිතුවම්, මහනුවර යුගයේ සිතුවම් ඇතුළුව අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති ලිහිණියගල ඓතිහාසික ලෙන් විහාරය ආරක්ෂා කර ගැනීම සඳහා බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවීම කාලෝචිත යැයි විහාරාධිපති හිමියන් කියති.
නදීක දයා බණ්ඩාර – මහනුවර

Related posts

Leave a Comment