මහකනදරාව ගොවි පවුල් ගමන් කරනා ප්‍රධාන මාර්ගය අබලන්

මිහින්තලය මහකනදරාව වැව් බැම්ම මතින් මහකනදරාව වම් ඉවුර හා දකුණු ඉවුර වෙත දිවෙන ගොවි පවුල් ඇතුළු දස දහසක් පමණ ගමන් කරනා ප්‍රධාන මාර්ගය වසර ගණනාවක සිට අබලන්ව ඇති හෙයින් එම මාර් ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කරදීමට කටයුතු කරනා ලෙස ගම්මාන රැසක ජනතාව වගකිවයුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ බණ්ඩාරනායක හංදියේ සිට වැව් බැම්මේ අවසානය දක්වා මාර් ගය ප්‍රතිසංස්කරණය කරනු ලැබුවත් එතැන් සිට පැවති ආණ්ඩුවට මාර් ගය ප්‍රතිසංස්කරණය කරදෙන ලෙස අවස්ථා කිහිපයකදීම ගම්මුන් ඉල්ලීම් සිදුකළත් ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔවුන් කීහ.

මිහින්තලය මහ කනදරාව යුද හමුදා කදවුර මහකනදරාව වැව කඩවර දේවාලය ථෙතිහාසික ගලේ පන්සල රඹෑව වැලිඹය හංදිය ඇතුළු වැදගත් ස්ථාන රැසකට හා ගොවිපවුල් දහස් ගණනක් පදිංචිව සිටිනා මහකනදරාව ජනපදයේ ජනතාවට ඉතාම පහසුවෙන් මිහින්තලය නගරයට යෑමට ඇති එකම මගේ කිලෝමීටර අටක පමණ ප්‍රමාණයක විශාල වලවල් හෑරි දැඩිව අබලන්ව තිබෙනා අයුරු එහි ගිය අවස්ථාවේ දැකගතහැකි විය.

බස්රථ ලොරි රථ ට්‍රැක්ටර් ලොරි රථ යතුරු පැදි මෝටර් රථ ඇතුළු රථවාහන විශාල ප්‍රමාණයක් එහි ගමන් කරනා අතර මේවනවිට පයින් යාමටවත් නොහැකි ලෙස මාර් ගය දැඩිව අබලන්වි තිබේ.වසර ගණනාවක් තිස්සේ ප්‍රධාන මාර් ගය අබලන්වී ගමනා ගමනයට දැඩි අපහසුතා එල්ලවීම පිළිබදව අදහස් දැක්වු ගම්මුන්.

වසර ගණනාවක ඉදන් මහකනදරාව වම් ඉවුර දකුණු ඉවුරේ ඉදන් මිහින්තලය නගරයට යන්න තියන කෙටිම මාර් ගය අබලන්.මේ මාර් ගය ඔස්සේ දිනකට විශාල ජනතාවක් ගමන් කරනවා.

ගම්මාන රැසක ජනතාව අස්වනු විකුණගන්න ගෙනියන්නේ මේ මාර් ගයෙන් නමුත් පාර අබලන් නිසා සමහර වෙලාවට අපි රඹෑව නගරයට ගිහිල්ලා තමයි සමහර අවස්ථා වලට මිහින්තලය නගරයට එන්නේ.

පාසල් දරුවෝ විශාල පිරිසක් මේ මගේ ගමන් කරනවා.ඒ දරුවන්ට වැසි කාලයේදි පාසලකට පයින් යන්න විදියක් නෑ පාර අබලන් නිසා.හදිසියේ කෙනෙක් ලෙඩ වුනොත් මිහින්තලය රෝහලට යන්න තියන කෙටිම පාර.නමුත් රෝගියෙකු අරගෙන මේ පාරේ වාහනයට යන්න බෑ.ඒ තරමට වලවල්.

අපි වර් ථමාන රජයෙන් ඉල්ලා සිටින්නේ ගමට ගෙනෙන සංවර් ධනය යටතේ මහකනදරාව මාර් ගය හදලා දෙන්න කියලා.තියන පාරට උඩින් අළුත් වැඩියාවක් කරානම් මේ මාර් ගය තවත් වසර පහක් හයක් බාවිතා කරන්න පුළුවන්.

කලා බළලු වැවේ බැම්මත් තාර යොදලා හදලා තියෙන්නේ.වැව් බැම්ම කොටසටත් තාර ටිකක් දැම්ම නම් බැම්මත් ආරක්ෂිතයි.

බැම්මේ අයින් හුගක් විනාශ වෙලා.වාරි මාර් ග දෙපාර් තුමේන්තුවත් වලවල් වැඩිවුනාම පැලස්තර අලවනවා වගේ මෝටර් ග්‍රේඩර් එකක් දාලා බැම්ම රහිනවා.

ආපහු මාස දෙක තුනක් යද්දි වාහන ගිහිල්ලා විශාල වලවල් හෑරෙනවා යනුවෙන් ඔවුන් පැවසූහ.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.මහේෂ් විජේසුරිය

Related posts