මාධ්‍ය නිදහස කාගේද?

gotabahaya

මාධ්‍ය නිදහස් යනු මාධ්‍ය ආයතනයේ හිමිකරුගේ නිදහස් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ “ගම සමග පිළිසඳර“ 15 වැනි අදියරට  එක් වෙමින්. මෙම වැඩසටහන අද පැවැත්වුණේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් යෝඹුවැල්තැන්න ගම්මානය කේන්ද්‍ර කර ගනිමින්.

දැන්  මාධ්‍ය නිදහස කියන්නේ මාධ්‍ය ආයතනය අයිති මිනිහගේ නිදහස නෙමෙයිනේ. මාධ්‍ය අයිතිකාරයාට ඕන විදිහට රට කරන්න හදනවා නම් ඒක මාෆියාවක්. අපේ රටේ රජවරුත් නැහැ මහරාජලත් නැහැ.

මහරාජලා හිටියේ ඉන්දියාවේ. රජය, පාලකයෝ පාලනය කරන්න හදනවා. මාත් එක්ක ඒවා බැහැ. ඒවට කරන්න ඕන දේවල් මම දන්නවා. මම මාධ්‍ය නිදහස දීලා තියෙනවා.

මම මාස 14ක් පාලනය කළා. මම කිසිම මාධ්‍යයකට බලපෑම් කරලා නැහැ. ඒ අය වැරදියට පාවිච්චි කරන්න ආවොත්. ඒකටත් නීති තියෙනවා, කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒවා මම ක්‍රියාත්මක කරනවා. ජාතික චින්තනය තියෙන මාධ්‍යයත් බොරු ප්‍රචාර යවනවා.

මම හොයලා බැලුවා කවුද කියලා. යුද්ධ කාලෙත් ඒ අයම තමයි අපිට විරුද්ධව වැඩ කළේ. පුවත්පතක හිටපු කණ්ඩායමක් ඕවා කරන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ වත් මන් ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්තිය දුප්පත් ගම්මානවල ආදායම් තත්ත්වය ඉහල නැංවීම බවයි. ඒ අනුව කෘෂිකර්මාන්තය හා වැවලි කර්මාන්තය වෙනුවෙන් වත්මන් ආණ්ඩුව විශේෂ අවධානයක් යොමු කර ඇති බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

යෝඹුවැල්තැන්න ගම්මානය, වලපනේ නගරයේ සිට කිලෝමිටර් 13ක් දුරින් පිහිටා ඇති අතර එහි පවුල් 139 කට අයත් පුද්ගලයින් 397 දෙනෙකු වාසය කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

Related posts