ජාතික ප්‍රතිපත්තියක් නැති ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

දරුවෝ මල් වගේ, හෙට දවසේ අනාගතය භාර ගන්නේ ඔවුන්. ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරිම සැමගේ වගකීම යනුවෙන් බලයට පත් වන සෑම රජයක්ම පවසන්නේය. එමෙන්ම ළමයින් වෙනුවෙන් පෙනී සිටින විවිධ සංවිධාන ද, නියෝජිතයින්ද පවසන්නේත් එයමය. නමුත් දරුවන්ට තවමත් නිසි තැන ලබා දීමට මේ කිසිදු රජයකට හැකි වී නොමැත.

ළමා ආරක්ෂක අධිකාරියේ ඉතිහාසය

එක්සත් ජාතීන්ගේගේ සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව 1990 වර්ෂයේ දී ළමා අයිතිවාසිකම් සම්මුතියේ (CRC) අත්සන්කරුවකු වි ඇති අතර  1991 ජූලි 12 වැනි දා එය අනුමත කර ඇත.

පසුව  අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කරන ලද ළමයින්ගේ ප්‍රඥප්තියක් සකස් කරන ලද අතර ළමා අයිතිවාසිකම් සම්මුතිය අධීක්ෂණය කිරීමේ සහ අවශ්‍ය විටෙක අන්තර්ජාතික ළමා අයිතිවාසිකම් සම්මුති කමිටුවට වාර්තා කිරීමේ වගකීම සහිත ජාතික අධීක්ෂණ කමිටුවක් පිහිටුවා තිබේ.

1996 දෙසැම්බර් මාසයේ දී ළමා ආරක්ෂණය පිළිබඳව ජනාධිපති කාර්ය බලකාය පත් කිරිමෙන් අනතුරුව එම බලකායේ වාර්තාවේ ඇතුළත් වන නීතිමය සංශෝධන සහ පරිපාලනමය ප්‍රතිසංස්කරණ ගණනාවක් මෙම බලකාය විසින් නිර්දේශ කර ඇත. ඒ් අතර  ජනාධිපති කාර්යාලය යටතේ 1998 අංක 50 දරන පනත ප්‍රකාරව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) පිහිටුවීමද විය.

ඒ් අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවනු ලැබුයේ 1998 වසරේ දීය . ඒ් ළමා අපයෝජන වැළැක්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමටත් , ඒ හා සබැඳි නීති පිළිබඳව රජයට උපදෙස් දීම සහ එවැනි අපයෝජනයන්ට ගොදුරු වූ දරුවන්ගේ ආරක්ෂාව සහ ප්‍රතිකාර කිරීම සහ සියලු ආකාරයේ ළමා අපයෝජනවලට එරෙහිව කටයුතු සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීම පිණිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් 1998 අංක 50 දරන පනත මඟිනි.

ළමයින් හා කාන්තාවන්ගේ විධිමත් ආරක්ෂාවක් හා සුබසාධන යාන්ත්‍රණය ස්ථාපිත කිරීමට 2006 වර්ෂයේ දී වෙන ම අමාත්‍යාංශයක් පිහිටුවන ලද අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට යටත් වේ.

ප්‍රතිපත්තියක් නැහැ

දැන් එය පිහිටුවා වසර 21 කි. වසර 21 කට පසු පහුගියදා කොප් කමිටුවේදි හෙළි වී ඇත්තේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට තවමත් ජාතික ප්‍රතිපත්තියක් නොමැති බවය. 1998 වසරේ සිට මේ දක්වා ආණ්ඩු රැසක් බලයට පත් වුවද ඒ් කිසිවෙකුගේ අවධානයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැහැදිවම ලැබී නොමැති බව මෙයින් ගම්‍ය වේ.

පහුගියදා රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ ( කෝප් කමිටුව) රැස් වුයේ එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙහිදි අනාවරණය වී ඇත්තේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 1998 දී පිහිටුවා ඇතත් වසර 21 ක් මුළුල්ලේ ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම පමා වී ඇති බවය.

මේවන විට සකස්කොට ඇති ජාතික ප්‍රතිපත්තිය සදහා අනුමැතිය ලැබී ඇති බැවින් එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම මෙහිදි කෝප් කමිටුව විසින් පෙන්වා දී ඇත.

ඒ් අනුව  ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා එම අධිකාරිය අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

වාර්ෂික කාර්ය සාධන වාර්තා වසර 04 කින් නැහැ

එමෙන්ම මෙහිදි නාවරණය වී ඇති තවත් කරුණක් වන්නේ එම අධිකාරියේ 2016 ,2017, 2018 සහ 2019 වසරවලට අදාළ වාර්ෂික වාර්තා කිසිවක් පාර්ලිමේන්තුවට මේවන තෙක් ඉදිරිපත්කර නොමැති  බවය.

මෙයට දැඩි අප්‍රසාදය පළ කළ කෝප් කමිටු සභාපතිවරයා වහාම මේපිළිබද සොයාබලා අදාළ වාර්ෂික වාර්තා මාස 2ක් ඇතුළත අමාත්‍යාංශය හරහා පාර්ලිමේන්තුවට ලැබීමට සලස්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරියට උපදෙස් ලබා දී ඇත.

මුදල් පරිහරණය පිලිබඳ අභ්‍යන්තර පරික්ෂණයක්

තවද අධිකාරියට අදාළ දත්ත පද්ධතියක් සකස් කිරීම වෙනුවෙන් 2016, 2017 වසරවලදී උපදේශිකාවක් සදහා රු. ලක්ෂ 9ක මුදලක්ද කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යයන අංශය මගින් මෘදුකාංගයක් සංවර්ධනය කිරීමට ප්‍රදානයක් ලෙස ලැබුණු රු.මිලියන 1.2 ක මුදලක්ද වැයකොට ඇතත් ඉන් මේවන විට නිසි ප්‍රයෝජන ලබාගත නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවද මෙහිදි හෙළිවිය.

මෙවැනි දත්ත පද්ධතියක් සකස් කිරීම වැදගත් වුවද රජයේ මුදල් පරිහරණයේදී නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බැවින් මේ පිළිබදව වහාම අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත.

පැමිණිලි මෙහෙයවීමට එක් නිලධාරියෙක් පමණයි

තවද 2011 -2020 කාලයේ අධිකාරියට පැමිණිලි 89,405 ක් ලැබී ඇති බවත් 2021.01.31 වන විට ආයතනයේ නොවිසදී ඉදිරියට ගෙනා පැමිණිලි සංඛ්‍යාව 40,668 ක බවටත් කරුණු හෙළිවිය.

පැමිණිලි පිළිබද මෙහෙයවීමේ කටයුතු සිදුකරන නීති බලාත්මක කිරීමේ අංශයෙහි සේවය කිරීමට ඇත්තේ එක් පුද්ගලයෙක් පමණක් වීම කනගාටුව කරුණක් බවත් ඒ අනුව අවශ්‍ය පරිදි නීති බලාත්මක කිරීමේ අංශය ශක්තිමත් කොට පැමිණිලි මෙහෙයවීමේ කටයුතු කඩිනම් කරන ලෙස කමිටුව දන්වා ඇත.

අධිකාරියේ නීති අංශයේ සේවය කිරීමට දෙදෙනෙක් පමණක් සිටින අතර ඒ පිලිබඳවද වහාම සොයා බලා පියවර ගැනීමට මෙහිදි කෝප් කමිටුව දන්වා ඇත.

තවද ලංකාව තුළ සියලු ළමා නිවාස නිසි පරිදි නියාමනය කිරිමට  නව වැඩපිළිවෙලක් සකස් කොට සියලු මූලික දත්ත ලබා ගැනීමට කඩිනමින් කටයුතු කරන ලෙස අධිකාරියට නිර්දේශ කර ඇති අතර ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සතුව පැමිණිලි සම්බන්ධ දත්ත තිබුණත් ළමා අපචාර පිළිබද ජාතික දත්ත පදනමක් නොමැතිවීම පිළිබදවද කමිටුවේ අවධානය යොමු කර ඇත.

ළමා අපයෝජන වළක්වා ගැනීමේ ඉදිරි වැඩපිළිවෙල සදහා විධිමත් දත්ත අත්‍යවශ්‍ය බැවින් වඩාත් විධිමත් දත්ත පද්ධතියක් සකස් කිරීමට පියවර ගන්නා ලෙස කමිටුවට කියා ඇත.

අසරණ දරුවන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය ආයතනයක් මෙලෙස වගකීම් රහිතව ක්‍රියා කීරිම සම්බන්ධව මෙතෙක් කාලයක් කිසිවෙකුගේ ඇස නොගැටීම පුදුමයට කරුණකි.

රටේ ජනතාව සිතන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය තුලින් අසරණ  වු දරුවන්ට සේවයක් වන බවය. නමුත් මේ තොරතුරු නිරීක්ෂණය කිරිමේදි පෙනී යන්නේ ඔවුන් දරුවන් වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා ඔවුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් පමණක් වැඩ කර ඇති බවක් නොවේද?

ශානි

( කෝප් කමිටු වාර්තාව ඇසුරෙනි)

Related posts