ජාතික කොඩිය හා ඩම්පිං

මෙම සටහන තබන්නේ 2021 නිදහස් දින උදෑසනයි. ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 73කි. ජාතික කොඩි සැම තැන එසවේ. පසුගිය සමයේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය ද චීනයෙන් ආනයනය කරන ලදී.

ඒ වෙනුවට දේශීයව නිෂ්පාදනය කරන ලද කොඩියක් ඔසවන ලෙස ආණ්ඩුව ජනතාවගෙන් ඉල්ලා සිටියේය. එය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්විය.

දේශීයව නිෂ්පාදනය කරන ලද කොඩියේ, රෙදි ආනයනය කරන ලද ඒවායි. රෙදි ලංකාවේ වියන ලද ඒවා නම්, නූල් ආනයනය කරන ලද ඒවායි. කොඩිය මුද්‍රණය කරන්නට භාවිතා කරන ලද වර්ණක, බතික් නම් පැරෆීන් ඉටි ආදිය ද ආනයනය කරන ලද ඒවායි. එහි කොන් මසන ලද නූල් ද ආනයනය කරන ලද ඒවායි.

කොඩිය මහන්නට අවශ්‍ය යන්ත්‍ර ආනයනික ඒවායි. ඒවා දුවන්නට බලශක්තිය නිෂ්පාදනය කරනු ලැබුවේ ආනයනික ඉන්ධන, ගල්අඟුරු ආදියෙනි. ඒවා බෙදාහරින්නට අවශ්‍ය වාහන ධාවනය කිරීම ආදිය ගැන ද කිවයුත්තේ එයමය. කොඩිය සුද්දගේ වුණත් කොඩිගහ අපගේ කිව්වාට කොඩිය උස්සන යකඩ කණුවත් ආනයනික යකඩය.

අවසානයේදී ගත්කල දේශීය යයි කියන්නට තිබෙන්නේ කොඩිය මැසූ ශ්‍රමය පමණි. ලංකාවේ ශ්‍රම මිල තරමක් ඉහළය. ඒ නිසා ආනයනික අමුද්‍රව්‍ය වියදම මත ශ්‍රම මිල ද එකතු වූ විට ජාතික කොඩියේ මිල ඉහළ යයි.

ජාතික කොඩිය දේශීයව නිෂ්පාදනය කිරීමෙන් අපට ලැබුණු වාසිය ලාංකිකයන් පිරිසකට රැකියා ලැබීමයි. එම කර්මාන්තයේ යෙදුණු අයට එය යම් සහනයකි. නැතිනම් එම පිරිසට රැකියා අහිමිවන්නට ඉඩ තිබිණි.

ජාතික කොඩිය වැදගත් වන්නේ නිදහස් දිනයේදීය. එදාට තම දේශප්‍රේමීත්වය ප්‍රකාශ කරන්නට ඉන්දියාවෙන්, චීනයෙන්, ජපානයෙන් ආනයනය කරන ලද බස්, වෑන්, කාර්, ත්‍රිරෝද රථවල පවා ජාතික කොඩි ඔසවනු ලැබේ. නිදහස් දිනය යෙදෙන සතිය පසුවන විට මේ කොඩි පාරවල් අයින්වල හැලේ.

දේශප්‍රේමීන් වැඩි දෙනෙකුට නයිලෝන් වැනි කෘත්‍රිම රෙදිවලින් මසන ලද මෙම නොදිරන කසල නිසි පරිදි බැහැරකිරීමේ විනයවත් නැත. ජාතික කොඩි මැසූ අයට ඉන් පසු වෙසක් උත්සවය සඳහා බෞද්ධ කොඩි මසන්නට පුළුවන.

හැබැයි, මෙහෙම හිතන්නටත් පුළුවන. ජාතික කොඩිය මැසීම වැනි සිල්ලර වැඩකට වැය කළ ශ්‍රමය වටිනාකම් එකතු කළ වෙනත් නිෂ්පාදනයක් වෙනුවෙන් යොදවන්නට අපට බැරි ඇයි?

ඉදිකටුවේ සිට ගුවන් යානය දක්වා හැම දෙයක්ම දේශීයව නිෂ්පාදනය කිරීමට යොමුකරන ලද ජාතිකවාදී ආර්ථික මූලෝපායක් 1970-77 සමයේ ක්‍රියාත්මක විය. එසමයේදී රජය ජාතික කොඩි නිෂ්පාදනය ද කළේය. එසේම, රජය හැලි වළං, ගඩොල්, උළු පවා නිෂ්පාදනය කළේය.

මෙවැනි නිෂ්පාදන සඳහා නිර්මාණය කරන ලද රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන දේශපාලකයන්ට තම ඡන්දදායකයන් හා හිතවතුන්ට රැකියා ලබාදීමටත්, විවිධාකාරයෙන් දූෂණයට යොදාගත හැකි ආයතන විය.

1977න් පසු වෙළඳපොල විවෘත කරන ලදී. ආනයන සීමා ඉවත් කරන ලදී. දේශීයව නිෂ්පාදනය කරන ලද භාණ්ඩවලට වඩා අඩු මිලට ආනයන ගලා ආවේය. දේශීය කර්මාන්ත බිඳවැටිණි. ඒ වෙනුවෙන් රජය විසින් ආරම්භ කරන ලද ආයතන රජයටත්, මහජනතාවටත් බරක් විය. එබැවින් ඒවා එකින් එක වසාදමන ලදී.

මේ අතර, වෙළඳපොල නිදහස පාවිච්චි කරමින් ඩම්පිං ලෙස හැඳින්වෙන ක්‍රියාවද සිදුවිය. ජාතික කොඩි, බෞද්ධ කොඩි, වෙසක් කූඩු, අලංකාර විදුලි බුබුළු, සරුංගල්, මල් ආදිය පවා චීනයෙන් ශ්‍රී ලංකාවට ගලා ආවේය. බොහෝවිට මේවා තොග වශයෙන් විකිණෙන්නේ ඒකක මිලට නොව බර අනුව කිලෝ ගණනටය.

ඩම්පිං යනු කිසියම් රාජ්‍යයක අපනයනකරුවන් විසින් තම රටේ දේශීය වෙළඳපොළේ මිලට පවා අඩුවෙන් භාණ්ඩ වෙනත් රටවලට අපනයනය කිරීමයි. අමුද්‍රව්‍ය හා ශ්‍රමය අඩු මිලට සපයාගෙන මහා පරිමාණ නිෂ්පාදනයක් සිදුකළ හැකි චීනය වැනි රටවලට ඩම්පිං සිදුකිරීමේ හැකියාව තිබේ.

චීනයෙන් මෙසේ භාණ්ඩ ගෙන්වීම ශ්‍රී ලංකාව වැනි රටවලට ඒවා නිෂ්පාදනය කිරීමට වඩා අතිශය ලාභදායීය. ආනයනකරුවන් හා වෙළඳුන් එයින් විශාල ලාභයක් ලබති. එහෙත්, එයින් සිදුවන හානි සුළුපටු නොවේ.

ඩම්පිං ආනයන සමග තරග කිරීමට දේශීය නිෂ්පාදනවලට බැරි වේ. එහෙත්, ඩම්පිං කරන භාණ්ඩ ලාභ මෙන්ම බාලය. එබැවින් දේශීය කර්මාන්තවලට අවශ්‍ය නම් ගුණාත්මක භාණ්ඩ වෙළඳපොළක සීමිත ඉඩකඩක් තවදුරටත් ඉතිරි වේ.

ලෝක වෙළඳ සංවිධානයේ නව ලිබරල් නීති අනුව ඩම්පිං නීත්‍යානුකූලය. එහෙත්, ඩම්පිං ගැටලුවක් ලෙස හඳුනාගත් රාජ්‍ය එය වැළැක්වීම සඳහා විධිමත් නීති පනවා තිබේ. ශ්‍රී ලංකාවේ එවැනි නීති නැත. ඒ වෙනුවට තිබෙන්නේ මේ මොහොතේ ටයිල් වෙළඳපොළේ තිබෙන්නාක් වැනි තිරසර නොවන ආනයන තහනම් කිරීම්ය.

ඩම්පිං කරන ලාභ හා බාල භාණ්ඩ පාලනයකින් තොරව බැහැරකිරීම නිසා ඒවායින් පාරිසරික හානියක් ද සිදුවේ. ඩම්පිං සඳහා කරනු ලබන භාණ්ඩ නිෂ්පාදනයෙන් ඒවා නිෂ්පාදනය කරන රටේ සම්පත් හා කම්කරුවන්ගේ ශ්‍රමය පවා අපතේ යයි.

ආර්ථිකය ගැන ජාතිකවාදී සිතීම්වල සීමාවන් දෙකක් මේ ඔස්සේ පෙන්වා දිය හැකිය. පළමුවැන්න, සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කළ යුතුය යන ස්වයංපෝෂී ආකල්පයේ තිබෙන ගැටලුවයි.

දෙවැන්න, ජාතික වශයෙන් ලාභ ලැබීම පිණිස කිසියම් රටක් තවත් රටකට කසල වැනි ලාභ, බාල නිෂ්පාදන අපනයනය කිරීමේ හෙවත් ඩම්පිං කිරීමේ ගැටලුවයි.

ආර්ථික ජාතිකවාදය විසින් නිර්මාණය කරන මෙවැනි ගැටලුවලට විසඳුම් තිබෙන්නේ ජාතිකවාදය ඉක්මවා ගිය චින්තනයකයි.

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය, ලංකා පුවත්පත, 2021-02-07

http://praja.lk

Please follow and like us:

Related posts