ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත, අති ගෞරවාර්හ නාපාන පේමසිරි ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මූල මහා විහාරයට ඊයේ (22) පෙරවරුවේ පැමිණි අගමැති මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

මහනුවර, හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර මහා පිරිවෙනේ අධ්‍යක්ෂ හා විහාරාධිපති, ශාසන සෝභන, ත්‍රිපිටකවාගීශ්වරාචාර්ය, සිරි සීලවංශ වංශාලංකාරධර, ත්‍රිපිටකවාගීශ්වර රාජගුරු, ත්‍රිපිටක චක්‍රවර්ති, පරියත්ති විශාරද, ශාසන කීර්ති ශ්‍රී, රාජකීය පණ්ඩිත, විනයාචාර්ය, විනය විශාරද, අග්ගමහා පණ්ඩිත වැනි ශාසනික නාමෝපාධිවලින් පිදුම් ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක ධුරන්ධර, අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහනායක ස්වාමින්වහන්සේ බුද්ධ ශාසනයට කළ මෙහෙවර අනභිභවනීය බව අගමැතිවරයා මෙහිදී මහා සංඝරත්නය හමුවේ පැවසීය.

අල්පේච්ඡ නිරහංකාර ජීවිතයක් ගත කරමින් ශාසනයේ දියුණුව සඳහා ඇප කැප වී කටයුතු කළ, අපවත් වී වදාළ අතිගෞරවාර්හ නාපාන පේමසිරි මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමින්, සංවේගයට පත් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අභිනව මහා නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ මහා සංඝරත්නයට මෙම අවස්ථාවේදී අගමැතිවරයා ශෝකය පළ කළේය.

සම්බුද්ධ ශාසනයට පහළ වූ උතුම් බුද්ධ පුත්‍රයකු වූ උන්වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවායි! ප්‍රාර්ථනා කරමින් අගමැතිවරයා මෙහිදී සිය ශෝක පණිවුඩය ද ලියා තැබුවේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අභිනව මහා නායක ධුරයට පත් වූ මහා විහාර වංශික, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ චතුත්දස මහනායක, මීරිගම මිනිඔලූව විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති, අග්ග මහා පණ්ඩිත, අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනායක ස්වාමීන්වහන්සේ බැහැදැක උන්වහන්සේට සුබ පැතුම් එක් කරමින් ආශිර්වාද ගත්තේය.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය ඇමැතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, ලොහාන් රත්වත්තේ, උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර සරත් ඒකනායක, බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Similar Posts