පසුගිය අගෝස්තු 15 දින ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය එරට රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් පසුව අල්ජසීරා රූපවාහිනී සේවය ප්‍රකාශ කරනු ලැබුවේ ඇෆ්ගනිස්ථානය ත්‍රස්තවාදීන්ගේ ස්වර්ග රාජ්‍යය බවට පත් විය හැකි බව ය.

ඒ අතර සිරියාවේ අයි.එස්. හිතවාදී කල්ලි කණ්ඩායම් තම සහෝදර ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් විසින් ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව සතුට බෙදා ගැනීම සඳහා ජනතාවට රසකැවිලි බෙදා දුන් බවද වාර්තා විය.

ඒ ආකාරයට තලේබාන් නැගිටීම පිළිබඳව ලෝකය පුරා ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් උද්දාමයට පත්වී සිටින නමුත් ඇෆ්ගනිස්ථානයේ ඇමරිකන් රූකඩ ආණ්ඩුවට හිතවාදීව කටයුතු කල පිරිස් එරටින් පැන යාම සඳහා සිතාගත නොහැකි අනතුරුදායක ක්‍රියාවන්හි නිරතවන ආකාරය ද ලෝක වාසීන්ට දැකගත හැකි විය.

ඇෆ්ගන් රාජ්‍යය බිඳ වැටී තලේබාන්වරුන් අතට පත්වීම නිසා කලාපයේ රටවල මත්ද්‍රව්‍ය ජාවාරම් වර්ධනය වීමේ හැකියාවක් මෙන්ම පුහුණුව ලත් පිරිස් සරණාගතයින් ලෙස කලාපයේ රටවලට සංක්‍රමණය වීමේ අනතුරක් සහ නවීන ඇමෙරිකානු ආයුධ විවිධ ත්‍රස්ත කණ්ඩායම් අතට පත් කිරීමේ අනතුරක් තිබෙන බවට රුසියානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් සිදු කොට ඇත.

ජනාධිපති පුටින්ගේ ප්‍රකාශය අනුව ශ්‍රී ලංකාවට සරණාගතයින් ලෙස ආයුධ පුහුණුව ලැබූ ඉස්ලාම් අන්තවාදීන් සංක්‍රමණය වීමේ අනතුරක් ද ඇත.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයින්ගේ සංවිධානය අතර සරණාගතයින්ට රැකවරණය ලබා දීමේ ගිවිසුමක් පවතින බැවින් තත්ත්වය වඩා බර බරපතළ වේ.

අවි පුහුණුව ලැබූ අන්තවාදී පිරිස් සංක්‍රමණය, මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැඳුණු අරමුදල් සහ ආයුධ වෙළදාම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීමට ශ්‍රී ලංකාවට ද සිදුවනු ඇත.

Similar Posts