gasgal

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමිය පාසල් දරුවන් සහ එම පාසල්වල ගුරුභවතුන් මේ දිනවල කදු මුදුන් , ගස්, ගල් මුදුන් මත On line අධ්‍යාපන කටයුතු කරන ආකාරය පසු ගියදා රාජය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා, මතුගම කලාප අධ්‍යාපනඅධ්‍යක්ෂක ලාල් දිසානායක ඇතුළු නිළධාරින්ට දැක ගැනිමට අවස්ථාව උදාවිය.

කොවිඩි වසංගතයෙන් අධ්‍යාපනය ඇතුළු බොහෝ කටයුතු On line ක්‍රමයට සිදුවුවත් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට සන්නිවේදන පහසුකම් අහිමිය. සුපිරි පහසුකම් ඇති බස්නාහිර පලාතේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර හැරුණු කොට ග්‍රාමිය ප්‍රදේශ රැසකට “සිග්නල්“ නැත. රූපවාහිණි, ගුවන් විදුලි මගින් දේශපාලඥයින් තාක්ෂණික සංවර්ධනය පිළිබද කොතෙකුත් කතා කළ ද ග්‍රාමිය ප්‍රදේශ රැසක මාර්ග ඇතුළු යටිතල පහසුකම් තවමත් හණ මිටි යුගයේය.

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර හැඩිගල්ල, දික්හේන,අතලේ , බොරළුගොඩ, අත්වැල්තොට. දිගන්න,ඕමත්ත ජනපදය, අට හවුල්හේන ඇතුළු ගම්මාන රාශියක ජනතාව දුකථන ඇමතුමක් ලබාගැනිමට කදු මුදුනක්,ගල් පර්වතයක් හෝ ගසකට නැගිය යුතු අවාසනාවන්ත තත්වයට මුහුණදි සිටිති.

වසර දෙකකට ආසන්න කාලයක සිට කොරෝනා වසංගතය නිසා මෙරට පාසල් අධ්‍යාපනය ඇන හිට තිබිමත් සමග බොහෝ ප්‍රදේශවල මාර්ග ගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුකරමින් තිබේ. එහෙත් ග්‍රාමිය ප්‍රදේශවල දරුවන්ට සහ ගුරුභවතුන්ට මාර්ග ගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදු කිරිම සදහා පළමුව සන්නිවේදන පහසුකම් ලබා ගැනිමට විශාල වෙහෙසක් දැරිමට සිදුව තිබේ.

පාලින්ද නුවර දික්හේන කන්ටු විදුහලේ දරුවන් සහ ගුරුභවතුන් දික්හේන කදු මුදුනේ තේ වත්තක් මැද තනාගත් මඩුවකට ගොස් මාර්ග ගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදු කරන අතරතුර පසුගියදා ළමා කටයුතු පෙර පාසල් , පාසල් යටිතල පහසුකම් , අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මතුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලාල් දිසානායක මහතා ඇතුළු පිරිසක් කදු තරණයකර මහත් වෙහෙසක් දරා එම ස්ථානයට ළගාවිය.

දික්හේන ජනපදය කනිටු විද්‍යාලයේ විදුහල්පතිණිය – රේණුකා කරුණාරත්න මහත්මිය.

මේ පාසලේ ළමුන් 268 ක් ඉන්නවා. පාසල තියෙන තැනට වගේම ගමේ හැම තැනටම සිග්නල් නෑ. මේ ප්‍රදේශයේ කදු මුදුන් කීපයකට පමණයි සිග්නල් තියෙන්නෙ. ඒ නිසා දරුවනුත් ගුරුභවතුන් තම තමන්ට පුළුවන් උස් ස්ථාන වලට යනවා. ඒ ආකාරයට මෙම ස්ථානයේ මඩුවක දුරස්ථභාවය තියාගන අධ්‍යාපන කටයුතු සිදුකරනවා. කොරෝනා නිසා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවී හැකි ආකාරයට මේ විධිහට සිදුකරගන යනවා.

සුදේශ් කුමාර.

අපේ පාසලේ ළමයින්ට On line ඉගන ගන්න පහසුකම් නෑ. අපට දුරකථන ඇමතුමක් ගන්නවත් සිග්නල් නෑ.ඒ නිසා මේ පැත්තතෙ තියෙන උස ස්ථාන වලට නැගල තමයි අපි මේ දවස්වල අධපන කටයුතු කරන්නෙ.

කාන්තා හා ළමා කටයුතු පෙර පාසල් ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය-පියල් නිහාන්ත ද සිල්වා මහතා.

මේ ප්‍රදේශයටම සිග්නල් තියෙන්නෙ කදු මුදුන් දෙකකට පමණයි . මේ දරුවනුත් , ගුරුභවතුන් හා දෙමාපියන් අධ්‍යාපනය වෙනුවෙන් මහත් වෙහෙසක් ගන්න බව අපට පැහැදිළි වුණා.අති ගරු ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමුව ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා, අධ්‍යාපන අමාත්‍ය ජි.එල්. පිරිස් මැතිතුමා, සහ සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, එකතුවෙලා අපි මේ දරුවන්ගේ අධ්‍යාපන ගැටළුව පිළිබද සාකච්ඡා කරනවා

.අන්තර්ජාල පහසුකම් ලබා දිමට කටයුතු කරනවා. ඒ වගේම මෙවැනි දුෂ්කර ප්‍රදේශවලට ඉතාම ඉක්මණින් ඊ තක්ෂලා ඉගනුම් මධ්‍යස්ථාන දහසක් ආරම්භ කිරිමට දැටමත් සාකච්ඡාකර වැඩ පිළිවල යොදමින් තියෙනවා.

මේ සංකල්පය ඉදිරියට ගෙන යාම පිළිබද නාමල් රාජපක්ෂ ඇමතිතුමාට විශේෂ ස්තුතිය පලකරනවා.පෞද්ගලික අංශයේද සහයෝගය ලබාගන පාසල්, විහාරස්ථා, ප්‍රජාශාලා හෝ සිග්නල් තියෙන තැනක මෙම ආයතන ‍ ආරම්භ කර දරුවන්ට අධ්‍යාපනය ලබාදිම සිදු කරනවා.

පවතින කොවිඩ් වසංගතය නිසා ගුරුවරුන්ට අවශ්‍ය ටැබ් සහ දුරකථන ලබාගැනිම සදහා රාජ්‍ය බැංකු හා අධ්‍යාපන ක්ෂේත්‍රෙයේ විද්වතුන් සමග සාකච්ඡා කර සහණදායි ණය පහසුකම් ලබාදිමට අවශ්‍ය කටයුතු සකසනවා.

එස්. පොද්දෙණිය – මිගහතැන්න

Similar Posts