krusi

කාබනික පොහොර පමණක් වගාව සඳහා යෙදීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල යටතේ ගොවියන් පුහුණු කිරීමේ කඩිනම් වැඩපිළිවෙලක් සංවිධාන කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ගෙවතු වගා, සුළු පරිමාණ හා මධ්‍යම පරිමාණ ගොවියන් දැනුවත් කිරීම දීපව්‍යාප්තව ආරම්භ කර ඇතැයි  කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී  මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අතිරේක  අධ්‍යක්ෂ ජනරාල් ජයන්තා ඉලංගකෝන් මහත්මිය සදහන් කළාය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශ මත දේශීයව නිෂ්පාදනය කරන සියලුම කාබනික පොහොර ප්‍රමිතිගත කරන බවත් ඒ අනුව අදාල පාර්ශව මාකදුරේ පිහිටි තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන පුහුණු ආයතනය තුළදී පුහුණු කරන බව ඇය සඳහන් කළාය.

ඉදිරි මහ කන්නයේදී කාබනික පොහොර යොදා වගා කටයුතු කිරීමට සිදුවන බව පෙන්වා දුන් අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තු, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවල අදාල නිලධාරීන් මේවන විට දැනුවත් කොට ඇතැයි ද ප්‍රකාශ කළාය.

පුහුණ වැඩසටහන් සම්බන්ධීකරණය සඳහා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන් පත් කොට ඔවුන් දිස්ත්‍රික් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ත කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් යටත් ස්ථාපිත කොට අදාල සියලු පාර්ශව පුහුණු කිරීමට හා දැනුවත් කිරීමට යොදවන බව ද අතිරේක අධ්‍යක්ෂජනරාල්වරිය කීවාය.

මාකදුරේ පිහිටි තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන පුහුණු ආයතනය මේ වන විට විශේෂ පුහුණූ වැඩසටහන් සැලසුම් කර ඇතැයි සදහන් කළ ඒ මහත්මිය, පවතින වසංගත තත්ත්වය යටතේ මාර්ගගත ක්‍රමයට (Zoom) පවා ගොවියන් දැනුවත් කිරීමට වැඩපිළිවෙලක් දැනටමත් සැලසුම් කර ඇතැයි ද කීවාය.

කොළ පොහොර, දියර පොහොර, ශාක පෝෂක වර්ග දේශීයව යොදා ගනිමින් විශ්වාසනීය කොම්පෝස්ට් පොහොර නිෂාපාදනයට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වගකීමෙන් යුතුව මැදිහත්වන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක  අධ්‍යක්ෂ ජනරාල් ජයන්තා ඉලංගකෝන් මහත්මිය වැඩිදුරටත් සදහන් කළාය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts