ranil wickremesinghe news

කොරෝනා මර්දනය කිරීම සඳහා පිහිටුවා ඇති කොවිඞ් කමිටුව විසුරුවා හැර වෛද්‍ය විශේෂඥයන්ගෙන් යුත් කමිටුවක් පත් කරගැනීමට රජය වහා කටයුතු කළයුතු යැයි හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

කොරෝනා වසංගතය ශීඝ‍්‍රයෙන් පැතිරී යමින් තිබෙනවා. දිනකට අනූවක සියයකට ආසන්න පිරිසක් මියයනවා. මේ සංඛ්‍යාලේඛන ගැනත් ප‍්‍රශ්න තිබෙනවා. පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව මේ ගැන වාර්තා කළ යුතුයි.

ඉන්දියාවටත් වඩා දරුණු තත්ත්වයක් ලංකාවේ ඇති විය හැකි බව සමහරුන් කියනවා. එන්නත ලබාදීම ගැනත් ප‍්‍රශ්න තිබෙනවා. එය සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නොකර වෙනම හමුදාව යටතේ සිදු කරනවා. එය පිළිගන්නට බැරි තත්ත්වයක්. එවිට එහි අඩුපාඩුකම් පැවතිය හැකියි.

අවුරුදු 12 ට වැඩි සියලූම දෙනාට එන්නත දිය යුතුයි. නමුත් දැනට එන්නත දෙන්නේ අවුරුදු 30ට වැඩි අයටයි. ඉතිරි අයට එන්නත දෙන්නේ කෙසේදැයි දැනුවත් කළ යුතුයි. මේ වන විට පවතින තත්ත්වය යටතේ ලෝකයේ එන්නත් හිඟයකුත් ඇතිවිය හැකිව තිබෙනවා. එමෙන්ම ඔක්සිජන් සහ තවත් උපකරණ ගණනාවක් අවශ්‍ය වෙනවා. ගොඩනැ`ගිලි සහ ඇඳන් සපයන බව කලින් කිව්වා. නමුත් අද ගොඩනැ`ගිලි මෙන්ම ඇඳන්ද නැහැ. තාවකාලික ගොඩනැ`ගිලි ක්ෂණිකව ඉදිකළ හැකි වුවත් එවැනි දෙයක් කරන බවක් පෙනෙන්නට නැහැ.

කොවිඞ් පිළිබඳ රෙගුලාසි ගණනාවක් ආණ්ඩුවෙන් දැනුම්දී තිබෙනවා. නමුත් ඒ එකක්වත් වලංගු වන්නේ නැහැ. 1896 පනතින් මේවා පාලනය කරන්නට නොහැකියි. ඒ කාලයේ කොවිඞ් තිබුණේ නැහැ.

එමෙන්ම මේ තත්ත්වයට ගත යුතු පියවර ගැන වෛද්‍යවරුන් පවසනවා. අද අප බේරී සිටින්නේ වෛද්‍ය සහ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය නිසයි. නමුත් ආණ්ඩුව ඒ අයටත් ඇහුම්කන් දෙන්නේ නැහැ. සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සම්පූර්ණයෙන්ම අඩපණ වී තිබෙනවා. මේ තත්ත්වයෙන් ගැළවෙන්නට තවම නියමිත වැඩසටහනක් ඉදිරිපත් කර නැහැ.

වෛද්‍යවරුන් ‘‘ලොක්ඩවුන්’’ එකක් ඉල්ලා තිබෙනවා. ආණ්ඩුව එය ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. මෙලෙස ප‍්‍රතික්ෂේප කරන්න හේතුව කුමක්දැයි වහාම රටට දන්වන්න.

කොරෝනා මර්දන වගකීම භාර දී තිබෙන්නේ කාර්ය සාධක බළකායටයි. එම බළකායට මෙම වැඩකටයුතු කරන්නට ශක්තියක් නැහැ. එම කමිටුව මෙතෙක් සාර්ථක ක‍්‍රියාමාර්ග ගෙන නැහැ. දැනට අප දකින්නේ මාධ්‍ය සන්දර්ශන පමණයි. 2020 අපේ‍්‍රල් මාසයේ සිට මේ තත්ත්වය පාලනය කරන්න අවස්ථාව තිබුණා. එසේ වූවා නම් අද වන විට මරණ ප‍්‍රමාණය වළක්වා ගන්නට හැකි වෙනවා. නමුත් එවැනි පාලනයක් වුණේ නැහැ. එසේනම් කොරෝනා මර්දන කමිටුව මරණවලට වගකිව යුතුයි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය යටතේ විශේෂඥයන්ගේ වෙනම කමිටුවක් පිහිටුවිය යුතුයි.

අද එවැනි කමිටුවක් නැත්තේ ලංකාවේ විතරයි. අනෙක් හැම රටක්ම එවැනි කමිටුවක් පිහිටුවා තිබෙනවා. වෛද්‍ය විශේෂඥයන් එකතු කරගෙන රජය වහාම එම කමිටුව ස්ථාපිත කළ යුතුයි. එමෙන්ම අද කොරෝනා මර්දන කමිටුවට ක‍්‍රියාත්මක වන්නට නීතියෙන් බලතල නැහැ. ඔවුන් වැඩ කරන්නේ නීතියෙන් පිටයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුව ගෙන යන බලතල ඇත්තේ කැබිනට් මණ්ඩලයටයි. ඒ බලතල නැවත මේ කමිටුවට දෙන්නට බැහැ.

ඊට අමතරව නීතියෙන් ආපදා කළමනාකරණ මණ්ඩල ඇති කර තිබෙනවා. එහි විපක්ෂ නායකවරයාත් ඉන්නවා. එය ක‍්‍රියාත්මක කළ හැකියි. මේ අර්බුදයෙන් ගොඩ එන්න සැලසුම් සැදිය යුත්තේ මේ මාර්ගයෙන් පමණයි. අපට තවත් කල් ගන්නට හැකියාවක් නැහැ. දැන් කල් ගත්තා ඇති. මේ ක‍්‍රමය සාර්ථක වන්නේ නැහැ. එම නිසා මේ කමිටුව විසුරුවා හැරිය යුතුයි. නීතියෙන් පිහිටුවා ඇති මණ්ඩල මාර්ගයෙන් අප කොරෝනා මර්දනය කරන්නට ක‍්‍රියා කරමු. නැතිනම් ලංකාව 21 වන ශත වර්ෂයේ විශාලා මහනුවර බවට පත්වීමේ අවදානමක් තිබෙනවා.

Similar Posts