sunilhadunneththi

ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගැනීමත් සමග ක්ෂේත්‍ර ගණනාවකට බලපෑම් එල්ල වී තිබේ.

පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් මේ වන විටත් ඉහළ දැමීමට තීරණය කර ඇති අතර බස් ගාස්තු මිල ගණන් ඉහළ දැමීමේ තීරණය ඉදිරියේදී ගැනීමට නියමිතයි.

කෙසේ වෙතත් වෘත්තීය සමිති පවසන්නේ, තෙල් මිල ඉහළ දැමීමට තරම් මූල්‍ය අර්බුදයක් තෙල් සංස්ථාවට නොමැති බවයි.

ජාතික සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසන්නේ, ආණ්ඩුව පාඩු ලබන බව කියමින් ඉන්ධන මිල ඉහළ දැමීම අසත්‍යයක් බවත් ය.

”තාමත් ආණ්ඩුව පාඩුවට නෙවෙයි විකුණන්නේ. මම ඉතා පැහැදිලිව කියන්නම් ඔබතුමා ඉන්ධන මිල වැඩි කරන්නේ අසත්‍ය පට්ටපල් බොරු කියමින්. තාම යහපාලන රජයේ ඔබට භාර දිලා තියෙන මිලට වඩා ඉන්ධන මිල වැඩිද? නෑ…”

මේ අතර සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය ජාතික සංවිධායක රත්න ගමගේ පවසන්නේ, හොරකම, වංචාව, දූෂණය වෙනුවෙන්, මේ රටේ විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන අවස්ථාවක රටේ ධීවර ප්‍රජාවටත් ඒ වගේම රටේ සමස්ත ජනතාව වෙනුවෙනුත් තෙල් මිල වහාම පහත හෙළිය යුතු බවයි.

”දැන් මේ උදය ගම්මන්පිල මහත්තයා කියනවා ඒ වගේම අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයා කියනවා. මූල්‍ය ස්ථාවරභාවය රැක ගන්න මේ කටයුත්ත කරා කියලා.අපි අහන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහත්තයෝ ග්‍රිසියේ ඔබ බැදුම්කර අරගෙන කරන මූල්‍ය වංචාව සිදු කරන වේලාවේ මූල්‍ය ස්ථාවරභාවය ගැන හිතුවේ නැද්ද?

ඒ වගේම හෙජින් ගිවිසුමෙන් මහා දැවැන්ත පාඩුවක් ගේන්න මහා වංචාවක් කරන වේලාව් ම් ගැන හිතුවේ නෑනේ? දැන් එතකොට මේ මැති ඇමතිවරුන්ට වාහන ගේන වේලාවේ මේ මූල්‍ය ස්ථාවරභාවය ගැන හිතුවේ නැහැනේ. ඒවායේදි කියනවා ජනතාවට පටි තද කරගන්නලු.

ඔයාලා පටි බුරුල් කරගන්න හදන්නේ. උදය ගම්මන්පිල මහත්තයා කියනවා වගේ බොහොම අමාරුවෙන් අල්ලන් හිටිය මාස 21 ක් අල්ලන් ඉදලා ඔයාගේ අත් දෙක රිදෙනවා ඇතිනේ. අත් දෙක රිදිම අමාරු වෙලා ද ඊයේ රාත්‍රියේ අත් දෙක පැත්තකට ගත්තේ?හොරකම වංචාව දූෂණය වෙනුවෙන්, මේ රටේ විශාල මුදල් ප්‍රමාණයක් වැය කරන අවස්ථාවක රටේ ධීවර ප්‍රජාවටත් ඒ වගේම රටේ සමස්ත ජනතාව වෙනුවෙනුත් තෙල් මිල වහාම පහත හෙළන්න”

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ, පසුගිය සමයේ ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටුණු අවස්ථවේ තෙල් මිල ඉදිරියේදි වැඩි වීමට ඉඩ ඇති බැවින් ඒ අවස්ථාවේදී එම සහනය ජනතාවට ලබා දීමට තෙල් අරමුදලක් සකස්කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළ බවයි.

එදා ඒ කී අරමුදලට අද සිදුව ඇත්තේ කුමක්දැයි, ඉන්ධන මිල වැඩවීම පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණු හිටපු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රශ්න කර සිටියේ ය.

”ලෝක වෙළෙදපොළේ තෙල් මිල අඩු වෙච්ච හැම වේලාවකම ඒ සහනය ආණ්ඩුව අරගෙන ජනතාවට පටවන එක තමයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වේලා තියෙන්නේ. ඒකට හොදම උදාහරණය තමයි පහුගිය කාලේදි තෙල් බැරලයක් ඩොලර් 40 ට විතර අඩු චෙව්ව වේලාවේදි ඒ සහනය එක රුපියලක්වත් ජනතාවට දුන්නේ නැහැ.

ඒ වේලාවේදි ආණ්ඩුව කිව්වේ මොකද්ද?තෙල් මිල ඉදිරියේදි වැඩි වෙන්න ඉඩ තියෙනවා.වැඩි වෙන වේලාව්දි අපි ඒ සහනය අපි ජනතාවට ලබා දෙන්නම්.ලබා දීම සඳහා අපි තෙල් අරමුදලක් හදනවා කියලා. අපි ආණ්ඩුවෙන් අහනවා, ඒ අරමුදලට මොකද වුණේ”

තෙල් මිල එලෙස ඉහළ දමද්දී අනෙක් පසින් ආණ්ඩුමේ මැති ඇමතීන් සඳහා සැප වාහන ගෙන්වීමට ණයවර ලිපි නිකුත් කර ඇති බව ද සඳහන් කළේ ය.

”අපි දන්නවා එක පැත්තකින් ආණ්ඩුවෙ ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට සැප වාහන ගේන්න ණයවර ලිපි නිකුත් කරලා තියෙනවා.ඒවා නවත්තන්න බැහැ කියලා ගෙන්වන්න අද තීන්දු කරලා තියෙනවා රු. කෝටි ගණන් ඒ වෙනුවන් මහජන මුදල් වියදම් කරලා.ආණ්ඩුවේ ඇමතිවරු මන්ත්‍රීවරු සැප විදින ඒවා වරප්‍රසාද භූක්ති විදින එ්වා, එක සතපහකින් අඩු කරගෙන නැහැ. ඒවා සියල්ල ජනතාවගෙන් අය කරගැනිමේ ක්‍රමවේදය තමයි දැන් මේ අනුගමනය කරමින් තියෙන්නේ”

මේ අතර ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසන්නේ, ආණ්ඩුවේ සෑම සූත්‍රයක් ම මේ මොහොතේ ක්‍රියාත්මක වන්නේ, මිනිසුන් මත බර පැටවීමට බවයි.

”බලයට ආවට පස්සේ මිල සූත්‍රය පැත්තකට දාලා, ඒගොල්ලොන්ගේ හැම සූත්‍රයක්ම තියෙන්නේ, හැම සූත්‍රයක්ම තියෙන්නේ මිනිස්සු මත බර පටවන සූත්‍ර තියෙන්නේ. ඒ කියන්නේ පාඩුව ජනතාවට. ලාභය ඒගොල්ලන්ට. ඉතින් අපි දැනුත් කියන්නේ ඔය වාහන ටික විකුණලා දාන්න.ඒ කරලා මේ තෙල් මිල අඩු කරන්න. ආණ්ඩුව කියනවානේ තෙල් මිල අඩු කරන්න විදියක් නැහැ කියලා. අපිට යෝජනවා තියෙනවා. ගේන වාහන ටික ප්‍රසිද්ධ වෙන්දිසියේ විකුණන්න. මේ තෙල් සංස්ථාවට පාඩුව පියවලා තෙල් මිල අඩු කරන්න.ඉතුරු ටික දාලා සෞඛ්‍ය අංශයට අවශ්‍ය උපකරණ ටික අරන් දෙන්න.ඒවානේ කරන්න ඕනේ”

මේ අතර සමගි ජන බලවේගය ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි තෙල් මිල ඉහළ දැමීම පිළිබඳව අද අදහස් පළ කළේ ය.

එහි ප්‍රධාන ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ, එක් අවස්ථාවකදී රු.2 කින් තෙල් වැඩි කළ අවස්ථාවේ වත්මන් ආණ්ඩුවේ සිටින පිරිසක් බයිසිකල්වලින් පාර්ලිමේන්තුවට පැමිණි බවයි.

”මේ ආණ්ඩුව එදා විපක්ෂයේ ඉන්නකොට යහපාලන ආණ්ඩුව තෙල් අඩු කරනකොට කිව්වේ ඒ වගේම තෙල් සූත්‍රයක් හදද්දි කිව්වේ ලෝක වෙලෙද පොලේ තෙල් මිල අඩු වැඩි වෙන කොට අඩු වෙනකොට අඩු කරන්නත් වැඩි වෙනකොට වැඩි කරන්නත් මොනවට ද ආණ්ඩුවක් කියලා ඇහුවා.

මට මතකයි එක සැරයක් රු.2 කින් තෙල් වැඩි කරද්දි මහින්ද රාජපක්ෂ මහත්තයයි ගෝලයෝ ටිකයි බයිසිකල්වලින් පාග පාග ආවා පාර්ලිමේන්තුවට . මම අහනවා දැන් මොකෙන්ද අපි යන්නේ? මේ ජීවන වියදම සියල්ල එන්නේ ජනතාව පිටට. ආණ්ඩුවේ අය යනවා, වාහනත් ගෙන්වා ගන්න සල්ලි වියදම් කරලා.මම අහන්නේ තමුන්නාන්සේලාගෙන් මේකද බලයට ආවේ?”

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට රජය තීරණය කළ අතර සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සාපෙක්ෂව තමන් ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමූ බව ලංකා අයි.ඕ.සි සමාගම සඳහන් කළේ ය.

Similar Posts