ජූනි 7 දක්වා සංචරණ සීමා දිගටම

lock

ජූනි මස 7 වැනිදා දක්වා සංචරණ සීමා ලිහිල් නොකිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටුව රැස් වූ අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

සංචරණ සීමා පැනවීම හේතුවෙන්, ජනතාව පීඩාවට පත් නොවීම සඳහා අතරමැද තෝරා ගත් දින 3ක් විවෘතව තැබීමට මීට පෙර තීරණය කළද එහෙත් පසුගිය 25 වැනිදා පෙරවරු 4ට සංචරණ සීමා ලිහිල් කිරීමත් සමඟ ජනතාව ක්‍රියා කළ ආකාරය වසංගතය පැතිර යෑමට ඉඩ හැරීමක් බවත් වසංගතය පැතිර යෑම වැළැක්වීමට ආණ්ඩුව ගන්නා උත්සහාය එමඟින් අසාර්ථක විය හැකි බවත් ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණි.

කොවිඩ් වසංගතය පැතිර යෑම වැළැක්වීමට ආණ්ඩුවේ ගන්නා උත්සාහයට ජනතාවද වගකීමෙන් සහාය දිය යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

ඒ අනුව මැයි මස 31 සහ ජූනි මස 4 යන දෙදින සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන තිබූ තීරණය අත්හිටුවීමටත්, ඉදිරි දින සඳහා ජනතාවට අවශ්‍ය භාණ්ඩ ජංගම අලෙවි රථ මඟින් බෙදා හැරීමටත් පියවර ගන්නැයි ජනාධිපති රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.

සංචරණ සීමා පනවා ඇති දිනවල අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් නිවෙසින් බැහැර යෑමට අවසර දී තිබේ. මාර්ගවල ගමන් කිරීමේදී සේවා ස්ථානයෙන් කැඳවීම් කර ඇති ලිපිය සහ සේවා හැඳුනුම්පත ළඟ තබා ගැනීම අනිවාර්යය වේ.

සයිනොෆාම් එන්නත දීම මැයි මස 8 වැනිදා සිට ආරම්භ කෙරුණු අතර, එහි ප්‍රථම එන්නත ගත් ජනතාවට, ජූනි මස 8 වැනිදා සිට මාසයක් පිරෙන දිනයේදී පළමු එන්නත ගත් ස්ථානයේදීම දෙවැනි මාත්‍රාව දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අංශ වෙත උපදෙස් දුන්නේය.

සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති වෙනත් දිස්ත්‍රික්කයන්හි එන්නත්කරණ කටයුතු විධිමත්ව සහ අඛණ්ඩව කිරීමේ අවශ්‍යතාවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

Related posts