aresst

මහමග ගමන් කරනා කාන්තාවන්ගේ මුදල් ඇතුළු වටිනා දේ සහිත අත්බෑගයන් කොල්ල කෑමේ නිරතවූ දිවයිනේ ප්‍රදේශ කිහිපයක කොල්ලකෑම් නිසා නඩු 15ක ප්‍රමාණයකට අධිකරණය හමුවේ පෙනී සිටින මතට ඇබ්බැහිවි සිටින දෙදරු පියෙකු හා ඔහුගේ සහයකයා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10කට ආසන්න ප්‍රමාණයක් සමග අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ඒකක තුන නිලධාරින් විසින් (21දා)සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර නොච්චියාගම තඹුත්තේගම යන පොලිස්වසම් වලින් වාර්ථාවූ කොල්ලකෑම් පහක ප්‍රමාණයක් සම්බන්ධයෙන් පරික්ෂණ පැවත්වු නිලධාරින් විසින් අනුරාධපුර ලෝලුගස්වැව ප්‍රදේශයේදි කොල්ලකරු සොරාගත් රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා යතුරු පැදියක් සමග අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු විසින් කොල්ලකන අත්බෑගවල තිබෙන රන් ආභරණ ජංගම දුරකථන ඇතුළු වටිනා දෑ උකස් කිරීමේ කාර්යයේ නිරතුවූ සහයකයා ඇලයාපත්තුව නෙල්ලිකුලමේදි අත්අඩංගුවට ගෙන තිබුණු අතර කොල්ලකෑ රන් ආභරණ හා ජංගම දුරකථන කිහිපයක් පොලිසිය සොයා ගෙන තිබේ.

කොල්ලකරු විසින් ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුවේ සේවය කරන කාන්තාවකගේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නිරත වන හෙදියක 62 හැවරදි කාන්තාවකගේ පුද්ගලික රෝහල් හෙදියක ඇතුළු කාන්තාවන් පස්දෙනෙකුගේ අත්බෑග කොල්ලකා ඇති අතර ඔහු කොල්ලයන් සදහා රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා අධිවේගි යතුරු පැදියක් හා තවත් යතුරු පැදියක් නොච්චියගම පොලිස්වසමෙන් සොරා ගෙන තිබෙනා බව පොලිසිය පවසයි.

අනුරාධපුර නගරයේ බැංකු ආසාන්නයේ ගැවසෙන සැකකරු බැංකු වලින් මුදල් ලබාගන්නා කාන්තාවන් ඉලක්කර තිබෙනා බවත් කාන්තාවන් යතුරු පැදිවලින් ගමන් කරද්දි ඔවුන් පසුපස හඹා ගොස් අත්බෑගයන් කොල්ලකා පලායන බව පොලිසිය පවසයි.කොල්ලකෑම් වලට යොදාගත් එක් යතුරු පැදියක් සැකකරු කොල්ලකෑම් වලින් පසුව අතර මග දමාගොස් තිබියදි නොච්චියගම පොලිසිය සොයා ගෙන ඇති බව පොලිස් කණ්ඩායම කියයි.

සැකකරු ගම්පහ කොටුගොඩ ස්ථිර පදිංචිකරුවෙකු වන බවත් එම ප්‍රදේශවල කොල්ලකෑම් රැසක් සිදුකර පසුව අනුරාධපුර නෙල්ලිකුලම ප්‍රදේශයට පැමිණ තාවකාලික පදිංචිවි සිටිනා බව පොලිසිය පවසයි.ඔහුට වත්තල හා මීගමුව යන අධිකරණවල නඩු 15 ක් විභාග වෙමින් පවතින බවත් තවත් නඩු කිහිපයක් මේ වනවිට අවසන්වි ඇති බවත් පොලිසිය පවසයි.

සැකකරු යතුරු පැදියෙන් පැමිණ කාන්තාවන් කරලා ගෙන සිටින අත්බෑග හා යතුරු පැදියේ ඉදිරිපස තබාගෙන යන බෑග ඉතා දක්ෂ අන්දමින් කොල්ලකා පලායන අයුරු නගරයේ පිහිටි ස්ථාන කිහිපයක සවිකර තිබූ ආරක්ෂිත කැමරා වලින් පොලිසිය තහවුරු කරගෙන තිබුණි.

සැකකරු අනුරාධපුර යාපනය හංදිය දහයියාගම හංදිය බන්ධනාගාරය ආසන්නයේදි කොල්ලකෑම් සිදුකර තිබෙනා අතර තඹුත්තේගම හා නොච්චියාගමදිත් කොල්ලයක් සිදුකර තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් නමයකට අධික ප්‍රමාණයක් තිබි හමුවු බව පොලිසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (22දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ඒකක තුන ස්ථානාධිපති පොලිස් පරික්ෂක මහින්ද රණවීර පොලිස් පරික්ෂක ඒ.එම්.කේ.පී.ආර් කරුණාරත්න  පොලිස් සැරයන්වරුන් වන රළපනාව 24410 අජිත් 61252 බණ්ඩාර 57357 ප්‍රේමතිලක 54390 බණ්ඩාර 60231 යන නිලධාරින් ඇතුළු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts