televition

මේ දිනවල ගමේ දුවා දරුවන් පවුල් පිටින් කඳු තරණය කරමින් වනගත වෙමින් ගස් උඩ පැල් අටවමින් උස් ස්ථාන සොයමින් වෙහෙසෙන්නේ සැමට සමානව දෙනවා යැයි කියන අධ්‍යාපනයට ප්‍රවේශයක් හදාගන්න. අද ගමේ මිනිස්සු  සහ දෙමාපියන්ට තිබෙන ප්‍රධානම ප්‍රශ්නය මාර්ගගත අධ්‍යාපනයට නැතිනම් ඔන්ලයින් අධ්‍යාපනයට ප්‍රවේශවීමට තිබෙන නොහැකියාවය.

මේ අවහිරතාවයන්ට මූලිකම හේතුව දූරකථන සම්බන්ධතාවයන් සඳහා සිග්නල් නොමැතිවීම. සමහර තැනක සිග්නල් තිබුණත් ඩේටා ගන්න දුප්පතුන්ට සල්ලි නෑ. ඊළඟට ගමේ දුප්පතුන්ට තවමත් ස්මාට් ජංගම දූරකථන නැතිවීමත් ප්‍රධාන ප්‍රශ්නයක්. සමහර ගෙදරකට තිබෙන්නේ එකම එක ස්මාට් දූරකථනයක් විතරයි.

හැබැයි ගෙදර දරුවෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. එකම වෙලාවේ දරුවන් දෙදෙනෙකුට ඔන්ලයින් පන්ති වැටුණොත් එක දරුවෙක්ට දෙවියන්ගේ පිහිට තමයි. දරුවන් තුන් දෙනෙක් සිටියොත් තත්ත්වය තවත් බරපතළයි.

සමහර වාටියේ ගම්වල දුප්පතුන්ට මේ තාක්ෂණය තවම බොහෝ දුරයි. මේ සියලු ප්‍රශ්න හමුවේ මේ දවස්වල ගමේ ගොඩේ දරුවන්ගේ අධ්‍යාපනය අනාථයි. ඒක තමයි ඇත්ත. අසමාන අධ්‍යාපනයක් අස්සේ සමාන ප්‍රශ්න පත්‍රයකට ඔවුන්ට මුහුන දෙන්න වෙලා. අධ්‍යාපන බලධාරීන් සහ දේශපාලන ලොක්කෝ හිතන්නේ ගමේ මැගිලින් නැන්දගේ මුණුපුරා සහ කොළඹ ආනන්දේ ඉගන ගන්න රාජපක්ෂ මාමාගේ මුනුපුරාට මේ අධ්‍යාපනය අස්සේ සම අවස්ථාවන් ලැබෙනවා කියලා. නෑ ඒක එහෙම නෑ.

කොවිඩ් පැමිණෙන්න කලින් තිබුණ පරතරය තවත් විශාල වෙලා. දැන් ඒ රේඛාවම ආගාධයක්. ඉතිං මේ ආගාධයට ගමේ ළමයි වැටෙන එක නියතයක් වෙලා. මොකද්ද ඇත්තටම මේකට තිබෙන හොඳම විසඳුම.. මේ ලියුම්කරු අධ්‍යාපන ඔස්තාද් කෙනෙක් නෙවෙයි.

නමුත් මේකට පොඩි විසඳුමක් මෙහෙම යෝජනා කරන්න කැමතී.. දූරකථන සමාගම් සිග්නල් දෙනකම් හෝ ඩේටාවලට අයකරන මුදල් අඩුකරනකම් හෝ බලාගෙන හිටියොත් දරුවන් සදා අනාථයි.

මේවා නියාමනය කරන්න තියෙන ආයතනයත් මර නින්දේ. ඔවුන්ට සිග්නල් නැතිවීම හෝ තිබෙන සිග්නල් උනත් දුර්වල වීම ගැන ප්‍රශ්නයක් නෑ. දූරකථන සමාගම් මේ මොහොතේ ඩේටාවලින් කරන ගසාකෑම උනත් මේ නියාමන ආයතනයට ප්‍රශ්නයක් නෙවෙයි. ඒනිසා අතේ තියෙන රූපවාහිනිය පාවිච්චි කරලා දරුවන්ගේ අධ්‍යාපන ගැටලුවට විසඳුමක් ලබාදෙමු..

බංකොලොත් රූපවාහිනිය

ජාතික රූපවාහිනිය පිහිටුවීමේ මූලික පරමාර්ථය මම දන්නවා විදිහට අධ්‍යාපනය. හැබැයි ඒ අරමුණෙන් ජාතික රූපවාහිනිය පිටපැනලා මේ වෙනකොට සෑහෙන්න කලක් වෙනවා. ඇයි එහෙම පිටපැන්නේ..? සල්ලි හම්බ කරන්නද? එහෙම නැත්නම් ජනතාවට උසස් රසවිඳින්නයක් ලබා දෙන්නටද? එහෙමත් නැත්නම් ආණ්ඩුවේ සංවර්ධන වැඩ වගේ දේවල් ජනතාව අතරට කාර්‍යක්ෂමව අරගෙන යන්නටද? එහෙමත් නැතිනම් ජනතාවට භාණ්ඩාගාරයට සල්ලි හම්බකරලා දෙන්නද? මට හිතෙන්නේ මේ කිසි දෙයක් අද ජාතික රූපවාහිනියෙන් වෙන්නේ නෑ. ඒ අනුව ගත්තාම මේ ආයතනය හැම අංශයකින්ම බංකොලොත් වෙලා ඉවරයි.

ජාතික රූපවාහිනිය කියන්නේ අද සුදු අලියෙක්. ජාතියට අධ්‍යාපනය දෙන්නත් එයට බැරිවෙලා, මේ වෙළඳ යුද්ධය අස්සේ සාර්ථක ව්‍යාපාරයක්ව පවතින්නත් එයට බැරිවෙලා.

පඩියත් මහා භාණ්ඩාගාරයෙන්

රූපවාහිනී සංස්ථාවේ සේවකයන්ට 2020 අවුරුද්දේ වැටුප් ගෙවීම සඳහා මාසිකව රුපියල් 48,000,000 ක් මහා භාණ්ඩාගාරයෙන් ලබාදෙන්න කියලා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරලා තියෙනවා අපි පහුගිය අවුරුද්දේ දැක්කා.

මීට ප්‍රථමත්, දැනට සෑහෙන්න කාලෙක ඉඳලත් වුණේ මේක. පසුගිය යහපාලන කාලෙත් මේක විශාල ප්‍රශ්නයක් වුණා. එක් අවස්ථාවක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මුදල් දෙන්න බැහැ කියලා කියලා තියෙනවා අපි දැක්කා.

නමුත් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ මැදිහත්වීමෙන් ඒ ප්‍රශ්නය තාවකාලිකව ඒ අවධියේදී නිරාකරණය වුණා. හැබැයි ප්‍රශ්නය විසඳුනේ නෑ. ආපු ලොක්කන්ට රූපවාහිනිය ලාභ ලබන ආයතනයක් කරන්නත් බැරිවුණා. එන්න එන්නම රූපවාහිනිය ආගාධයට ගියා.

රූපවාහිනි සංස්ථාවේ සේවකයන් ගණන 930ක් විතර වෙනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ. මේ සේවකයින්ට මාසික වැටුප් ගෙවන්න රුපියල් කෝටි 5 ක් විතර වැය වෙනවා කියලා තමයි දැනගන්න තිබෙන්නේ.

මීට අමතරව දීමනා සඳහා තවත් රුපියල් කෝටි 4ක් වැයවෙන බව කියනවා. මෙහෙම බැලුවාම සේවක පඩි සඳහා විතරක් මහා භාණ්ඩාගාරයට වාර්ෂිකව දරන්න වෙන වැය බර කොපමණද? ඊළඟට මෙසා විශාල ආයතනයක් නඩත්තු කරන්නට යන වියදම කොපමණද? මේ මුදල් වැය කිරීමෙන් ජාතියට ලැබෙන ප්‍රථිලාභය මොකද්ද?

ඇත්තටම ජාතියට ලැබෙන බක්කක් නෑ. හැබැයි කාලෙන් කාලෙට රට පාලනය කරන පාලකයන්ට තමන්ගේ දේශපාලන අදහස් ප්‍රචාරය කරගන්න විතරක් මේ සුදු අලියා රජයේ වියදමින් නඩත්තු කරනවා. ඒත් වර්තමානය වෙනකොට රූපවාහිනිය ප්‍රේක්ෂක ග්‍රහනයෙන් ගිලිහීම නිසා ඒ ප්‍රචාරණ අවශ්‍යතාවයත් නිකං පුස්සක් විතරයි.

දරුවන්ට අධ්‍යාපනය දෙන්න රූපවාහිනය යොදවන්න..

ඉහත සියලු කරුණු හොඳට විග්‍රහ කළාම මේ ආයතනය වහලා දාන එක රජ්‍යයට, ජනතාවට හොඳයි. ඒත් රූපවාහිනිය කියන්නේ පළල්ම අවරණය හිමි රූපවාහිනී ආයතනය. ලංකාවේ සෑම අස්සක් මුල්ලකම රූපවාහිනී සංඛ්‍යාත දුවනවා. රූපවාහිනිය, චැනල් අයි නාලිකාව හෝ නේත්‍රා ටීවී හෝ ග්‍රහනය කරගන්න නොහැකි ඇන්ටනාවක් ලංකාවේ භූමියේ නැතුව ඇති.

ඒ තරමට ලංකාවේ හැම අස්සකටම රූපවාහිනිය පේනවා. ලංකාවේ උසම ස්ථානයෙන් පටන්ගෙන ලංකාව පුරාම සංඛ්‍යාත බෙදන සම්ප්‍රේශන කුලුනු පද්ධතියක් රූපවාහිනිය සතුයි.

මේක තමයි පාඩු ලැබුවත් රූපවාහිනියට තිබෙන විශාලම ශක්තිය. ඒනිසා මේ ලියුම්කරුගේ යෝජනාව මේ ශක්තිය සම්පූර්ණයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කළ යුතුයි කියන එකයි. ඒක මේ වෙලාවේ ජාතික අවශ්‍යතාවය.

පැය 24 පුරාම දුවන විදිහට දරුවන්ට විෂය දැනුම බෙදන පාඩම් මාලාවක් සම්පාදනය කරන්නට මේ ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දෙන එක හොඳයි මේ වෙලාවේ. නිර්මානාත්මක හැකියාවන් දියවෙලා ගිහිං මැරිලා වගේ ඉන්න රූපවාහිනි සේවකයින්ට මේ අධ්‍යාපන වැඩසටහන් සම්පාදනය මගින් තමන් ගන්න වැටුපට සාධාරණයක් මේ හරහා කරන්න පුලුවන්. අනික් පැත්තෙන් මහා භාණ්ඩාගාරයටත් රූපවාහිනියට විසිකරන මුදල් පළදායක වැඩකට යෙදෙව්වා කියලා සන්තෝෂ වෙන්න පුලුවන් මේ නිසා.

ජාතිය අධ්‍යාපන ආයතනයට ගෙදරට වෙලා ඉන්න ඉගැන්වීමට දක්ෂ ගුරුවරුන් තෝරාගෙන, රූපවාහිනි වැඩසටහන් නිශ්පාදකයෝ සමග එකතු කරලා ප්‍රශස්ථ පාඩම් මාලාවක් හැම විෂයකටම හැම පන්තියකටම සරිලන විඳිහට සම්පාදනය කරන්න අමාරු නැහැ.

ඕනී නම් සජීවීව උනත් මේ ඉගැන්වීම් කරන්න පුලුවන්. සිංහල දෙමළ ඉංග්‍රීසි මාධ්‍යන් තුන සඳහා මේ නාලිකා තුනම යොදාගෙන දවස පුරා අධ්‍යාපනය වැඩසටහන් විකාශය කළොත් ගමේ දරුවන් ලේසියෙන් රූපවාහිනිය ඉස්සරහා ඉඳගෙන ඉගනගනී. අනෙක් පැත්තෙන් බැහැලා තියෙන රේටින් උනත් මේ හරහා නැඟලා එයි. මෙහෙම කළොත් මේ වසංගත තත්ත්වය ඉවර වෙනකොට රූපවාහිනිය නැවත දරුවන් අතරට සමීප වෙලා තියෙයි.

ඊට පස්සේ දිගටම ඩිස්කවරි වගේ අධ්‍යාපනික නාලිකාවක් විදිහට උනත් මේක පවත්වාගෙන යන්න අමාරු වෙන එකක් නැහැ. හැබැයි ඉතිං දැන් රූපවාහිනිය ඇතුලේ තියාගෙන ඉන්න ඔළුගෙඩි ටික වන්දි දීලා හරි සෝදලා දාලා අලුත් ඔළු ගෙනල්ලා මේක අලුත් කරන්න ඕනී. නිර්මානාත්මක කරන්න ඕනී. අනෙක් පැත්තෙන්, අවම අවුරුදු පහෙන් පහටවත් සේවකයෝ ගෙදර යවන සිස්ටම් එකක් රූපවාහිනිය ඇතුලේ හදන්න ඕනී.

ඒ නිසා මේ ලියුම්කරුගේ යෝජනාව තමයි රූපවාහිනිය මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කරලා මේක දරුවන්ට උගන්වන ආයතනය බවට පත්කළ යුතුයි කියනඑක. ඒ සමගම මේ ආයතනය අධ්‍යාපනය සඳහාම වෙන්වුණ නාලිකාවක් විදිහට නවීනත්වයෙන් පිරිපුන්ව සංවර්ධනය කරන්න කියන ඉල්ලීම කළ යුතුයි.

ඒ සඳහා අවශ්‍ය අනපනත් සංශෝධනයන් උනත් උවමනාවක් තිබෙනවා නම් මේ වෙලාවේ කළ හැකියි. පාර්ලිමේන්තුවේ 2/3ක බලයකුත් තිබෙනවා නේ..! පවතින ආණ්ඩුවට දේශපාලනය කරන්න අවශ්‍ය නම් ඒ සඳහා ස්වාධීන රූපවාහිනි සේවය තිබෙන නිසා මේ යෝජනාවන් ක්‍රියාත්මක කරන්න බැහැ කියලා ආණ්ඩුවට කියන්නත් බැහැ.

aithiya

Similar Posts