borinjonson

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එංගලන්තයේ දැනට පවතින කොවිඩ් සීමාවන් ඉවත් කිරීම  සඳහා රජයේ සැලසුම් ඉදිරිපත් කිරීමට සූදානමින් පසු වේ. මුහුණු ආවරණ පැළඳීම පිළිබඳ නීති, සමාජ දුරස්ථ භාවය පිළිබඳ නීති සහ නිවසේ සිට වැඩ කිරීම සඳහා වූ මඟ පෙන්වීම් මෙහිදී සංශෝධනය කිරීමට නියමිත  ය.

මාධ්‍ය වාර්තා පෙන්වා දෙන ආකාරයට මෙම සංශෝධනයන් එළඹෙන ජුලි 19 වනදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා විසින් කොරොනා මර්ධන සැලසුමේ අවසාන අදියර වශයෙන් මෙම සීමා කිරීම් ලිහිල් කරන ආකාරය සහ දින වකවානු පිළිබඳ දැනුම් දෙනු ඇත. එරට සෞඛ්‍ය හා සමාජ සත්කාර කටයුතු ලේකම්වරයා විසින්  මෙම සැලසුම් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කරනු ඇත.

බ්‍රිතාන්‍යයේ දැනට ඉතිරිව ඇති කොවිඩ් සීමාවන්ගෙන් වැඩි ප්‍රමාණයක් ජූලි 19 සිට ඉවත් කළ හැකි බව අගමැති බොරිස් ජොන්සන් අපේක්ෂා කරයි. කෙසේ වෙතත් මෙම සීමාවන් ලිහිල් කිරීම නිසා නැවත වතාවක් කොවිඩ් වෛරසය පැතිර යාමේ අවධානමක් පැවතුණ ද රට පුරා එන්නත් කරන වැඩසටහන් හේතුවෙන් රෝගීන්ගේ බරපතළ තත්ත්වය සහ මරණ සංඛ්‍යාව අවම වනු ඇත.

ඒ අනුව පබ්, කැෆේ, බාර් සහ අවන්හල් සඳහා පැවැති සීමා ඉවත් කෙරෙනු ඇති අතර සිනමා ශාලා, විනෝද ස්ථාන, කෞතුකාගාර ඇතුළු නරඹන්නන්ගේ ආකර්ශනීය  දිනා ගත් ස්ථාන යළි විවෘත කළ හැකි වනු ඇත. එක්සත් රාජධානිය තුළ ගමන් කිරීමට සහ සමහර ජාත්‍යන්තර සංචාර නැවත ආරම්භ කිරීමට හැකිය. විවාහ මංගල්‍ය සහ අවමංගල්‍ය අවස්ථා, එළිමහන්  ප්‍රසංග සහ ක්‍රීඩා සඳහා පනවා තිබූ සීමා කිරීම් ද සංශෝධනය වීමට නියමිතව තිබේ. එළිමහනේ රැස්වීම සඳහා පනවා තිබූ නීති ද මේ යටතේ ලිහිල් කෙරෙනු ඇත.

වසංගතය පූර්ණ වශයෙන් නිමාවට පත් නොවූවත් මිනිසුන් එය සමඟ ජීවත් වීමට ඉගෙන ගත යුතු බව අගමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. ඒ සඳහා නව ප්‍රවේශ හඳුනා ගැනීම කෙරෙහි ද එරට රජය අවධානය යොමු කර තිබේ.

ස්කොට්ලන්තය ද මේ හා සමගාමීව පියවරෙන් පියවර ආරක්ෂණ සීමා ලිහිල් කිරීමට සූදානම් වූවත් ස්කොට්ලන්ත රජය පවසන්නේ මුහුණු ආවරණ පැළඳීම සඳහා “අඛණ්ඩ අවශ්‍යතාවයක්” පවතින බවයි. කෙසේ වෙතත් එන්නතට ප්‍රතිචාර නොදක්වන නව වෛරස ප්‍රභේද ඇතිවීමේ අවදානමක් පවතින නිසා සීමා ලිහිල් කිරීම එතරම් වේගවත් නොකළ යුතු බවට විශේෂඥයින් අනතුරු අඟවා සිටී.

 

Similar Posts