රෝහල් ඇදන් ගැටළුවට පිළියම් වශයෙන් කොවිඩ් 19 වෛරසය වැලදි ඇති රෝගීන් හමුවට වෛද්‍ය කණ්ඩායම් ගොස් නිවෙස් වලදී ප්‍රතිකාර ලබාදීමෙන් ඇතිව තිබෙන අධික තදබදය අවමකර ගැනීමට හැකි බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු ජේෂ්ඨ වෛද්‍ය නිලධාරියෙකු අනාවරණය කළේය.

විදේශ රටක හා මෙරට ඉදිරිපෙළ කෝවිඩ් මර්දන කටයුතු සඳහා කටයුතු කරමින් ලබා තිබෙන අත්දැකීම් වලට අනුව ඉදිරියේදී වැඩිවීමට නියමිත කොවිඩ් 19 රෝගීන් සඳහා රෝහල් හෝ ඇඳන් ඉදිකිරීම සඳහා කාලය ශ්‍රමය අපතේ හැරීම නිෂ්ඵල ක්‍රියාවක් බව ඒ මහතාගේ මතයයි.

ඒ මහතාට කොවිඩ් පළමු රැල්ලේ ඇති විදේශිය අත්දැකිම් වලට අනුව එම ක්‍රියාව ඉතා යෝග්‍ය බව පැවසු අතර පළමු රැල්ල අවධියේ විදේශිය රෝහලක සේවකර තිබේ.පළමු කොවිඩ් රැල්ල අවස්ථාවේදී වෛද්‍යරයා ඕමාන් (sultanate of Oman)සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සේවය කළත් පැවති තත්වය හමුවේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ කොවිඩ් රෝගින්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් අනුරාධපුර මෙත්සිරි සෙවන රෝහලේ සේවය කරයි.

කොවිඩ් රෝගය වැලදෙන සියලුම රෝගි පුද්ගලයන් අසාධ්‍ය තත්ත්වයට පත් නොවන නිසා සිදුකළ යුත්තේ රෝගීන් තෝරාගෙන ඔවුන්ට උපරිම පහසුකම් ලබාදීම බව ඒ මහතාගේ මතයයි.අනෙකුත් අසාධ්‍ය නොවන රෝගීන් සිය නිවෙස්වල තබා වෛද්‍යවරුන් සහ අවශ්‍ය සෞඛ්‍ය කාර්යය මණ්ඩලය නිවසට යවා රෝගී නිවසේදී පරීක්ෂාකර අත්‍යවශ්‍ය රෝගීන් පමණක් රෝහලට කඩිනමින් ඇතුළත් කිරීමට අවශ්‍ය කටයුතු කළ යුතු බව ඔහු කියයි.

නිවසේදී ප්‍රතිකාර කළ හැකි රෝගීන් දිනපතා නිවසේදීම පරීක්ෂාකර ප්‍රතිකාර නියම කළ හැකි අතර ඔවුන්ගේ රැකබලා ගන්නන්ට කොවිඩ් මධ්‍යස්ථානයකට වඩා සිය ඥාතියෙකුට හැකි බව ඒ මහතා පවසයි.අවශ්‍ය පහසුකම් සපයන්නට බලධාරින්ට හැකි නම් අනුරාධපුර ප්‍රදේශයේ රෝගීන් ගේ නිවසටම ගොස් පරික්ෂා කර ඔවුන් සුවපත් කිරීමට තමන් සූදානම් බව ඒ මහතා පවසයි.

දැනට කොවිඩ් රෝගය වැලදී සිටින පුද්ගලයන් බොහොමයක් දිගු කාලීන රෝග රැසකට ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයන් වීම නිසා ඔවුන් එම රෝගී තත්වයට අවශ්‍ය ඖෂධ දිනපතා ලබාගෙන ඇත්ද යන්න පරික්ෂා කරමින් ප්‍රතිකාර ලබාදීම තුලින් මරණ සංඛ්‍යාව අවමකර ගැනීමට යෝජිත ක්‍රමය ඉතා හොද බවත් ඒ සදහා අවශ්‍ය සම්පත් සෞඛ්‍ය අංශ සතුව ඇති බව ඒ මහතාගේ මතයයි.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts