keheliya

රථ වාහන ලියාපදිංචි කිරීමේ දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන අංක තහඩු තැපැල් මගින් නිවසටම ලබාදීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ජනමාධ්‍ය හා තැපැල් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය කොට ලාභ ඉපයීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව වැඩසටහන සැලසුම් කර ඇතැයි හාරිස්පත්තුව ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ ස්ථාපිත වැරල්ලගම නව තැපැල් කාර්යාලය  විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීවේය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා  අංක තහඩු නිවසටම ලබාදීමේ වැඩපිළිවෙළ පමණක් නොව, තැපැල් දෙපාර්තමේන්තුව සතු ඉඩකඩම් තුළින්ද දෙපාර්තමේන්තුවට ආදායම් ඉපැයිය හැකි තත්ත්වයක් උදාකරන බව කීවේය.

පෞද්ගලික අංශය තුළ විශ්වාසනීය හා කාර්යක්ෂම අයුරින් සිදුවන සීඝ්‍ර දූත සේවය තැපැල් දෙපාර්තමේන්තුව තුළද ද කඩිනමින් ස්ථාපිත කරන බව කී ඒ මහතා ඒ තුළින් විශාල ලාභයක් තැපැල් දෙපාර්තමේන්තුවට හිමිකර ගත හැකි යැයිද සඳහන් කළේය.

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රෝගීන වෙත ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ ඉතාමත්ම සාර්ථක අයුරින් සිදු කළ බව කී ඒ මහතා, එම ව්‍යාපෘතිය තුළින් පුද්ගල මරණ ගණනාවක් බේරාගැනීමට තැපැල් දෙපාර්තමේන්තුවට හැකි වුණු බව ද කීවේය.

මෙරට තුන්සිය හතළිස් දෙකක් වන ප්‍රාදේශීය සභා තුළ නව තැපැල් කාර්යාලය ආරම්භ කිරීමේ වැඩසටහනක් දියත් කරන්නේ නම් එය පොදු ජනතාවට වඩා සේවයක් ලබා දිය හැකි තත්ත්වයක් වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා, හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතා, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

නදීක දයා බණ්ඩාර  – මහනුවර

 

Similar Posts