සංචරණ සීමා ගැන තවත් තීරණයක්

sawendra

දිවයිනටම පනවා ඇති සංචරණ සීමා ලබන 14වනදා අළුයම 04ට ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාව ක්‍රියා කළයුතු ක්‍රමවේදය ඉදිරියේදී දැනුම් දෙන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

රටපුරා සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර ගමන් කිරීමේ සීමාව ඇතුළු අනෙකුත් සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් දිගටම පවත්වන සීමා සම්බන්ධයෙන් අද (11) දිනයේදී සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

සංචරණ සීමා සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය යැයි ද ඒවා විශ්වාස නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය .

Related posts