මිරිහාන තලපත්පිටිය ප්‍රදේශයේ  දෙමහල් නිවසක උඩුමහලේ පවත්වාගෙන ගිය ගංජා පැල තවානක්  සහ මෙරට තහනම් කර ඇති නීති විරෝධී දුම්වැටි සමග  පුද්ගලයෙක්  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසී.

අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන වෙඩි පිටියේ  කොට දයා නැමැත්තා ගේ ඥාතියෙක් වන බවත් කොට දයා නැමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස ක්‍රියා කරන්නේ මෙම පුද්ගලයා බවත් මොහු වෙඩි පිටියේ සුදත් නැමැති නාමයෙන් හඳුන්වන බවත් විශේෂ කාර්ය බලකාය පැවසීය.
එම සැකකරු සමඟ ගංජා පැල විසිහතරක්, විදේශීය දුම්වැටි 25 ක්,හා හෑෂ් මත්ද්‍රව්‍ය මිලි ගෑම් 600ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගත් බවද පැවසීය.
එම නිවසේ මත්ද්‍රව්‍ය සාදයක්  පවත්වන බවට පොලිස් විශේෂ කාර්යය  ලද තොරතුරක් අනුව සංවිධානාත්මක  අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂක රන්ජන දිසානායක මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වැටලීම සිදු කර ඇත.
ගංජා පැල  ඉටි කවර වල බහා නිවසේ උඩු මහලේ කොන්ක්‍රීට් තට්ටුව මත තවානක් ආකාරයෙන් සකස් කර තිබූ බවත් අනෙකුත් මත්ද්‍රව්‍ය නිවස තුල තිබී  අත්අඩංගුවට ගත් බව වැටලීම සිදු කළ  පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු වැඩිදුර විමර්ශන  සඳහා මිරිහාන පොලිසිය වෙත භාර දී ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකා  අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර,බුද්ධි හා විශේෂ මෙහෙයුම් සහකාර පොලිස් අධිකාරී ඩි යු පි කොඩිතුවක්කු ,මහත්වරුන්ගේ උපදෙස් මත  වැටලීම සිදු කරනු ලැබුවේ  පොලිස් පරීක්ෂක රංජන දිසානායක මහතා විසිනි.
සමීර  අබේසිංහ – බොරලැස්ගමුව

Similar Posts