pallekale

පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන  ගාල්තැන්න දළුක්ගොල්ල ප්‍රදේශයේ කඳු මුදුනකට රැගෙන ගොස් කොටයකට තබා ඔවුන් දෙදෙනාගේ දෙයත් වලට පරාල ඇණ ගසා අමානුෂික ලෙස වධ හිංසා කළ බව කියන  සිද්ධියක් සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කපුවෙකු ඇතුළු 11 දෙනෙකු ගෙන්  සමන්විත කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට මහනුවර සහ බලගොල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සැකකරුවන් පිරිස වෑන් රථයකින් පැමිණ බලගොල්ල ප්‍රදේශයේදී 25 දින පස්වරු 2.30 ට පමණ මෙම පැහැර ගැනීම සිදුකර තිබෙන පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

පුද්ගලයින් දෙදෙනෙකුට පහර දෙමින් අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කඳු මුදුනකට රැගෙන ගිය බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව පොලිස් කණ්ඩායම් අදාළ ස්ථානය සොයා මෙහෙයුමක් දියත්කර ඇත.

අම්පිටිය ප්‍රදේශයේ සිට කිලෝ මීටර 2 1/2 ක් පමණ දුරින් වූ කඳු මුදුනේ සිටියදී පහර කෑමට ලක්වූ පුද්ගලයින් සොයා ගැනීමට පොලීසියට හැකිවී තිබේ.

පැහැර ගැනීම සිදුකළ පිරිස මෙම පුද්ගලියින් දෙදෙනාගේ දෙඅත් කොටයකට තබා අල්ල මැදට පරාල ඇණ ගසා පසුව එම ඇණ වල හිස කොටස කියතකින් කපා තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.

සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් තිබෙන අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ.

මෙම කල්ලියේ ප්‍රධාන සැකකරු දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ දේවාළයක් පවත්වාගෙන යන්නෙකු බවත් ඔහු දළුක්ගොල්ල ප්‍රදේශයේ තවත් දේවාලයක් ඉදිකරමින් සිටිනබවත් පොලීසිය පවසයි.

පහර කෑමට ලක්වූ පුද්ගලයින් දෙදෙනා පොල්ගොල්ල හා පේරාදෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙන අතර ඔවුන් ප්‍රකාශයක් හෝ ලබා ගැනීමට නොහැකි තත්ත්වයේ පසුවන බව පොලීසිය පවසයි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Similar Posts