army

කොරෝනා ප්‍රතිශක්තීකරණ තෙවන මාත්‍රාවක් අවශ්‍ය වන්නේ නම් එය මෙරටට  ගෙන එන ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාල අංශ වෙත දැනුම් දී ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මෙරට සමස්ථ ජනගහණයෙන් සියයට 53.2කට මාත්‍රා දෙකම ලබාදී ඇති අවස්ථාවක තුන්වන මාත්‍රාවක් පිළිබදව ඇතැම් පාර්ශව තුළ අවශ්‍යතාවයක් මතුවෙමින් පවතින බව ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 72වන සංවත්සරය නිමිත්තෙන් යුද හමුදා ධජ, දන්නධාතූන් වහන්සේ වෙත පූජා කොට ආශිර්වාද ගැන්වීම ඊයේ  (27) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී සිදුවිය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදා ධජය පෙරටුව, ස්වේච්ඡා බල සේනාව, සියලුම ආරක්ෂක සේනා, මූලස්ථාන සේනාංක, පුහුණු මධ්‍යස්ථාන, සියලු රෙජිමේන්තු හා ඒකකයන්ගේ ධජ දන්තධාතූන් වහන්සේ වෙත පූජා කොට ආශිර්වාද ගැන්වීම සිදුවිය.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් යුද හමුදාපතිවරයා පිළිගත් අතර අනතුරුව ඒ මහතා දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගන්නා ලදි.

ධජ පූජාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා, දැනට පවතින වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව සුවිශේෂී මෙහෙවරක් ඉටු කරමින් සිටින බව ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවේදී මෙන්ම ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ද යුද හමුදාව කළ මෙහෙවර කිසිසේත්ම අමතක කළ නොහැකි යැයි කී ඒ මහතා, යුද්ධය නිසා දැනටමත් ආබාධිත තත්ත්වයෙන් පසුවන සෙබලුන්ට ආශිර්වාදයත් මරණයට පත් වූ රණවිරුවන්ට නිවන් සුවයත් ප්‍රාර්ථනා කරන බව කීවේය.

මෙරට ජනතාවගේ කැපවීම මත ඩෙල්ටා ප්‍රභේදය පාලනය කර ගැනීමට හැකිවුණුබවත් ඉදිරියේදී දැඩි සෞඛාරක්ෂිත කොන්දේසි අනුව ජනාධිපතිවරයාගේ තීරණය මත රට විවෘත වනු ඇතැයි ද යුද හමුදාපතිවරයා කීවේය.

රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය හා පුද්ගලික අංශ ක්‍රියාත්මක විය යුතු ආකාරය දැනටමත් ඒ ඒ අංශ වෙත දැනුම් දී ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

එන්නත් මාත්‍රා වර් ග පහක  මාත්‍රා තුන්කෝටි පහළොස් ලක්ෂයකට අධික ප්‍රමාණයක් මෙරටට ගෙනැවිත් ඇතැයි කී යුද හමුදාපතිවරයා, ඉන් එක්කෝටි දහසයලක්ෂයකට අධික පිරිසකට මාත්‍රා දෙකම ලබාදී අවසන් කර ඇතැයි කීවේය.

මෙරට අවුරුදු 20 29 අතර වයස් කාණ්ඩයේ තරුණ තරුණියන්ගෙන්  48.5%ක පිරිසකට මේ වන විට එන්නත් ලබාදී ඇතැයි ද ඒ මහතා කීවේය.

විවිධ රෝගාබාධවලින් පෙළෙන අවුරුදු 12ත් 19ත් අතර දරුවන් ඔවුන් ප්‍රතිකාර ගන්නා ස්ථානවලදී එනන්ත්කරණය කරන බව කී ඒ මහතා අවුරුදු 15 සිට අවුරුදු 19 දක්වා පිරිස් එන්නත්කිරීම පිළිබදව ඉදිරියේදී දැනුම් දෙන බවත් වැඩිදුරටත් සදහන් කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මධ්‍යම පළාත් අණදෙන නිලධාරී මේජර් ජනරල් කිත්සිරි ලියනගේ මහතා ඇතුලුව යුද හමුදාවේ උසස් නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

army army

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

 

Similar Posts