බොරලැස්ගමුව පොලිස් වසමේ කටුවාවල මංසන්ධියේ සිට නීලම්මහර පුරාණ රජමහා විහාරයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ ආසිරි උයන මාවත ආසන්නයේ වෙල්යාය අසබඩ පිහිටා ඇති පොදු නාන ළිඳේ තිබී නාඳුනන මළ සිරුරක් (08) වන දින උදෑසන සොයා ගත්බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.

කටුවාවල, නීලම්මහර වැනි ප්‍රදේශයන්හි පලා කොල වෙළඳාමේ යෙදෙන ග්‍රාමීය වෙළෙන්දෙකු (කීර වෙළෙන්දෙක්) උදෑසන තමන් රැගෙන එන පලා මිටි සේදීම සඳහා මෙම පොදු නාන ළිඳට දිනපතා පැමිණෙන බවත් එම වෙළෙන්දා (08) වන දින උදෑසන 06.00 පමණ පලා මිටි සේදීමට පැමිණි අවස්ථාවේදී ලිඳේ මළසිරුරක් තිබෙන බව දැක ඇති බවත් ඒ අනුව ඔහු විසින් ලබාදුන් තොරතුරු ලබා දුන් තොරතුරු මත වහාම එම ළිඳ පිහිටි ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බවත් පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු හැටක් පමණ වන අයෙක් බවත් ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන තොරතුරු අනුව මෙම පුද්ගලයා බෝකුන්දර ප්‍රදේශයේ ඇදුම් මැසීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය අයෙක් බවත් පවුල් ආරවුලක් මත නිවසෙන් වෙන්වී උන්මන්තකයෙක් ආකාරයෙන්  කාලයක පටන් නගරයේ තැනින් තැන ඇවිද ගිය අයෙකු බවත් ඔහුගේ ස්ථිර පදිංචියක් නොදන්නා බවත් කවුරුන් හෝ ලබාදෙන ආහාර පාන බුක්ති විඳිමින් සිටි අයෙක් බවත් ප්‍රදේශවාසීන් පැවසූ බව ද පොලීසිය සඳහන් කළේය.

මෙම මරණය ඝාතනයක්ද එසේ නැතහොත් තමන්ගේ ජල අවශ්‍යතාවයක් සපුරා ගැනීම සඳහා ළිඳ වෙත පැමිණ සිටියදී අසනීපයක් හෝ පය ලිස්සා ළිඳට වැටීමෙන් මිය ගියේද යන්න පිළිබඳව ස්ථිර වශයෙන් කිව නොහැකි බවත් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කැඳවා සිදුකරන බවත් මෘත දේහය පරීක්ෂණ කටයුතු සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත රැගෙන ගිය බවද පොලිසිය පැවැසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත දකුණු භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ යන මහත්වරුන් ගේ සෘජු අධීක්ෂණය මත බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.ජී විජේරත්න මහතාගේ උපදෙස් හා මෙහෙයවීම මත උප පොලිස් පරීක්ෂක කුලරත්න, පොලිස් කොස්තාපල් 92525 මාලන් යන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

සමීර  අබේසිංහ (බොරලැස්ගමුව)

Similar Posts