elahera

ඇළ හර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්තනෝමතික ලෙස බකමූණ නගරයේ වත්මන් බස් නැවතුම්පළ වෙනත් ස්ථානයකට ගෙන යාමට ගෙන ඇති තීරණයට විරෝධය පා බකමූණ නගරයේ වෙළඳ සංගමය හා බකමූණ සුරැකීමේ සංවිධානය එක්ව නගරය පුරා කලු කොඩි ඔසවා ඇළහැර ප්‍රාදේශීය සභාව වෙත විරෝධතා පාගමනකින් ගොස් සිය විරෝධය දැක්වීමට ඊයේ (23) දහවල් කටයුතු කළ හ.

බකමූණ නගරයේ වෙළඳ ප්‍රජාව සිය වෙළද සැල් ඉදිරිපිට හා නගර මධ්‍ය‍යේ කළු කොඩි එසවීමෙන් අනතුරුව විරෝධතා පා ගමනින් ප්‍රාදේශීය සභාව අසලට පැමිණ ඇළ හැර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ රුව රැගත් පඹයෙකු ගිනි තබා විනාශ කරමින් සිය විරෝධය පළ කළ හ.

එදි දි බකමූණ සුරැකීමේ සංවිධානයේ සභාපති ඉඳුරුවේ අස්සජී හිමියෝ විරෝධතාව පිළිබදව මෙසේ පැවසූහ.

“ඇළහැර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ජානක නලින් කුමාර මහත්තයා එයාගේ අත්තනෝමතික තීරණයක් මත බකමූණ නගර මධ්‍ය‍යේ තිබෙන බස් නැවතුම්පල නගරයේ කොණකට ගෙනියන්න තීරණය කරලා තියෙනවා. මේ සභාපතිවරයා නගරයේ වැදගත්ම ස්ථානය වන බස් නැවතුම්පල වෙන තැනකට ගෙනියන්නේ. වෙනත් පුද්ගලික අරමුණු ඇතුව.නගරය පුරා ම සියලු වෙළද සැල් අද කළුකොඩි ඔසවලා මේ විරෝධතාව පවත්වන්නේ අත්තනෝමතිකව මේ කරන වැඩේට විරෝධය දැක්වීමටයි.

බකමූණ නගරය ගොඩනැගිලා තියෙන්නේ බස් නැවතුම්පළත් එක්ක. එය සංවර්ධනය වන්නේ බස්නැවතුම්පලත් එක්ක. ඒක දැන් සමුපකාර භූමියට නගරයේ කොණකට ගෙනයන්න හදනවා. අපි ඒකට විරුද්ධයි. මේ බස් නැවතුම්පල නගරයෙන් කෙළවරකට ගෙනිච්චාම විශාල පාඩුවක් සිද්ධ වෙනවා. බස් නැවතුම්පල නගරයෙන් කොණකට ගෙන ගියාම අපචාරවලට තෝතැන්නක් වෙයි. ඒක නිසා අද සියලුම වෙළද ප්‍රජාව ඒකරාශීකරගෙන මේ විරෝධතාව පවත්වන්නේ වෙළද ප්‍රජාවේ බහට අනුව කටයුතු නොකිරීම සභාපතිවරයා අත්තනෝමතිකව කටයුතු කිරීමට විරෝධයක් ලෙසයි මේ විරෝධතාව සිදු කරන්නේ.”

මෙහි දී බකමූණ නගරයේ වෙළද සංගම් නියෝජිතයෝද අදහස් දැක්වූහ.විරෝධතා කරුවෝ කළුකොඩි රැගෙන නගරය ආරක්ෂා කර දෙන්නැයි බල කරමින් බැනර් ප්‍රදර් ශනය කරමින් ප්‍රාදේශීය සභාව අසලට පෙළපාලියකින් ගොස් එතැන දී පඹයෙකු ගිනිතබා විරෝධය පළ කර විසිර ගියහ.

elahera elahera

ඊෂා  මුදියන්සේ පොලොන්නරුව

Similar Posts