gaslabu

රජය මගින් හදිසියේම රසායනික පොහොර ලබාදීම අත්හිටුවීම නිසා මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගස්ලබු වගාකළ ගොවින් විශාල පිරිසක් කඹලෙන් ළිපට වැටි ඇති අතර ගස්ලඹු ගෙඩි ඵළ දැරීම හා ගස් වැඩීම සම්පූර්ණයෙන් අඩාලවි ඇති බව ගොවින් පවසති.

මීට පෙර ගස්ලබු වගාකිරිමෙන් විශාල ආදායම් හිමිකරගත් ගස්ලඹු ගොවින් විශාල පිරිසකට වගාවන් සදහා වියමදම් කළ රුපියල් ලක්ෂ ගණනාවක් වතුරේ ගොස් ඇති බව ඔවුන් පැවසූහ.

මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පෙරියකුලම තම්මැන්නාව ඇතුළු ගොවිබිම් රැසක වගාකල ගස්ලබු පැල දස දහස් ගණනක් පොහොර නොමැතිවීමෙන් විනාශ වෙමින් පවති.

ඇතැම් ගස් වැඩි ඵළ හටගෙන ඇතත් අපේක්ෂිත අස්වැන්නෙන් සියයට හැත්තෑවක් පමණ අහිමිවි ඇති බව ගොවින් පැවසූහ.ඊට අතමතර මීට මාස තුනකට පමණ ඉහතදි වගාකළ ඇතැම් ගස් පොහොර හිගවීමෙන් වර්ධනය සම්පුර්ණයෙන්ම බාලවි ඇති බව ඔවුන් පෙන්වා දුන්හ.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ සිට මැදවච්චිය පෙරියකුලමේ වගාවල නිරතවන චමින්ද ගොවි මහතා.

තලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තමයි වැඩිම ගස්ලබු ගොවින් ඉන්නේ.මම කිලෝමීටර් 75ක් දුර ඇවිල්ලා මැදවච්චිය පෙරියකුලම ප්‍රදේශයේ තමයි වගාව සිදුකරන්නේ.වසර 15ක කාලයක් තිස්සේ වගාව සිදුකරමින් රටට බරක් නැතිව ජීවත් වෙච්ච අපි අද වෙනකොට රටටම ණයකාරයෝ වෙන තත්වෙට පත්වෙලා.

මේ සැරේ වගාවට රුපියල් ලක්ෂ 17ක් ගත්තා ගෙයයි ඉඩමයි බැංකුවට උකස් කරලා.මේ වගා බිමට තමයි ඒ මුදල් වැයකරේ.මීට මාස හතරකට විතර ඉහතදි හිටවපු ගස්ලබු වගාවේ ඵළදාව නෑ.දැඩි නයිට්රජන් ඌනතාවක් තියනවා.ඵලදැරීම සියයට 70කින් විතර අඩුවෙලා.

තව අක්කරයක් ගස්ලබු පැළ වගාකලා දැන් මාසයකට අධික කාලයක් ගිහිල්ලත් අඩියක් උස යන්නෑ.මහින්ද රාජපක්ෂ මහත්තයත් පොහොර දෙන්නෑ දෙන්නෑ කියලා එතුමාගේ පාලන සමයේ නැවත රසායනික පොහොර දුන්නේ මේ වගාවන් කරන්න බෑ කියලා තහවුරු කරගත්ත නිසා.

අපේ රටේ අපේ පොළවට හරියන කිසිම බීජයක් නෑ.ඒවා ඔක්කොම විනාශ කරලා මැලේසියාව තායිලන්තය වැනි රටවල් වලින් හයිබ්‍රිඩ් බීජ අපේ රටට එවනවා.මේ කාබනික පොහොර දාලා ඒවා වවන්න බෑ.අපි පොඩි කාලයේ ගස්ලඹු ගෙඩිය කාලා ඇට ටික මිදුලට වීසිකරාම එක යායට ගස් පැලවෙලා ඵල දරනවා.

අද පිටරටින් බීජ ගෙනල්ලා අපිට කියනවා කාබනික පොහොර වලින් වවන්න කියලා.කාබනික පොහොර දාලා මාසයක් වෙනවා කිසිම ගහක් වර්ධනය වෙන්නේ නෑ.නයිට්රජන් නැතුව මේ ගස්වල ඵළදාව ලැබෙන්නේ නෑ.

අපේ දුක කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට කිවුවම අපිට කියනවා අපිට ගොඩ ගොවියා ගැන වැඩක් නෑ කියලා.මම මීට ඉස්සර හුණුපිටිය පොහොර ගබඩාවේ වැඩකලේ.ඒකේ තියන පොහොර තොග රටපුරා බෙදලා එක අවුරුද්දකට ඉවර කරන්න බෑ.කෝ එතකොට ඒ පොහොර කොහෙටද ගියේ.කළු කඩකාරයෝ ළග පොහොර තියනවා.ඒවා රුපියල් 3500-4500යි මිල.නමුත් අපිට දෙන්නේ නෑ.

හයිබ්‍රිඩ් පොහොරක් ඇවිල්ලා තියනවා ඒ පොහොර ගහන්න එක මුරයකට රුපියල් 125000ක් විතර යනවා අපි කොහොමද මේවා කරන්නේ.මේ වගාවෙන් අස්වැන්න ගන්නවත් පොහොර ටික දෙන්න.ඊට පස්සේ නවත්තලා දාන්න.අපිත් වගාකිරීම නවත්තලා දානවා.

අපි කුලියට ඉඩම් රගෙන වගාකරලා ළිං කපලා මේ ඉඩම් අයිතිකාරයන්ට පොල් වවලා දීලා ඔවුන්ගෙ ආර්ථිකයත් ශක්තිමත් කරනා මිනිස්සු යනුවෙන් ගොවි මහතා පැවසුවේය.

මැදවච්චිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පෙරියකුලම තම්මැන්නාව ඇතුළු ප්‍රදේශවල ගොවින් අක්කර සිය ගණනක ගස්ලඹු වවා ඇතත් මේවනවිට එම ගස්ලබු වගාවන් පොහොර නොමැතිව අතහැර දමා තිබෙනා අයුරු නිරික්ෂණය කර ගැනීමට හැකිවිය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts